පළගැටි උවදුර මීරිගමටත්

පළගැටි උවදුර මීරිගමටත්

by Staff writer 03-06-2020 | 8:49 PM

COLOMBO (News 1st) - පැතිර යන කහ තිත් පළගැටියන් පිළිබඳව අදත් ප්‍රදේශ කිහිපයකින් වාර්තා විය.

හඳුනාගත් පළගැටි විශේෂයක් සම්බන්ධයෙන් පසුගියදා පළමුව වාර්තා වුණේ මාවතගම ෆ්‍රැන්සිස්කෝවත්ත ප්‍රදේශයේ වගා භූමිවලිනි. පසුව ඒ අවට ප්‍රදේශ රැසකින් පළගැටියන් දක්නට ලැබිණ. වයඹ පළාතේ මාවතගම, මලන්දෙණිය ,උඩගම, මතව, මීතැන්වල, බරන්දන, ඉදුල්ගොඩකන්ද ,කටුපිටිය, දොරටියාව,නාගහකන්ද ,කැටවල සහ වල්පොලකන්ද යන ප්‍රදේශවලින්ද මේ සතුන් පිළිබඳව වාර්තා විය. අද දිනයේ උඩගම, වල්පොලකන්ද ,ඉදුල්ගොඩකන්ද වැනි ප්‍රදේශවලින් මෙන් ම ගම්පහ දිස්ත්‍රික්කයේ මීරිගම මදුරුපිටිය ප්‍රදේශයෙන් ද මෙම වර්ගයේම පළගැටියන් දක්නට ලැබිණ. අප වාර්තාකරු පැවසුවේ, මේ සතුන් කිහිපදෙනෙකු ආරක්ෂිතව බෝතලයකට දමා වැඩිදුර පරීක්ෂණ සඳහා ගන්නෝරුව කෘෂිකර්ම පර්යේෂණායතනයට යොමු කර ඇති බවයි. ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරකට අනුව කෘෂි නිලධාරීහු පිරිසක් අද මදුරුපිටිය ප්‍රදේශයට පැමිණියහ. මෙවැනි පළගැටියන් පිළිබඳව තවත් ප්‍රදේශවලින් වාර්තා වේ නම්  1920 අංකය අමතා තොරතුරු ලබා දෙන ලෙස කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මහජනතාවට දැනුම් දෙයි. https://www.facebook.com/NewsfirstSL/videos/244395380193077/