පොළොන්නරුව ක්‍රීඩාංගණයේ සැඟවුණු කතා.

පොළොන්නරුව ක්‍රීඩාංගණයේ සැඟවුණු කතාව..

by Staff writer 03-06-2020 | 10:31 PM

* හිඟුරක්ගොඩ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ නැකත මොකද්ද කියලා මට තේරෙන්නේ නැහැ - හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන

Colombo (News 1st): හිඟුරක්ගොඩ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් සම්බන්ධයෙන් වගකීම් පැහැර හැර සිටි ක්‍රිකට් බලධාරීන් කවුද? හෝමාගම ඉදිකිරීමට යෝජිතව තිබු මෙරට විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණය පසුගිය දිනවල සමාජයේ දැඩි කතා බහක් ඇති කළේය. ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් මෙම ක්‍රිකට් ක්‍රීඩාංගණය වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙරටට ලබා දෙන ප්‍රතිපාදන හරහා ණය මුදලක් ලබා ගැනීමට බලාපොරොත්තු වන බව විධායක කමිටුවේදී සාකච්ඡා කර තිබුණි. මේ අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්, පාදුක්ක ප්‍රදේශයේ ඉදිකිරීමට ගිවිසුම් අත්සන් කළ තවත් ක්‍රිකට් ක්‍රීඩාංගණයක් පිළිබඳව ද අප වාර්තා කළේය. එමෙන්ම දිස්ත්‍රික් සංගම් වෙනුවෙන් ක්‍රීඩාංගණ සහ කාර්යාල පිහිටුවීම සඳහා ඉඩම් ලබා ගැනීමට දැන්වීම් පල කර ඇති ආකාරයද අප පෙන්වා දුන්නේය ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් හිඟුරක්ගොඩ ඉදි කිරීමට සූදානම් වූ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ වත්මන් තත්ත්වය ද අප පසුගියදා වාර්තා කළේය. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, පසුගිය වසරේ දෙසැම්බර් 31 වැනිදා මේ පිළිබඳව අදහස් පළ කළේය.
හිඟුරක්ගොඩ ක්‍රිකට් ක්‍රීඩාංගණය. සුජීව ගොඩලියැද්ද මහත්මයා කණගාටුවෙන් වුණත් කියන්න ඕනේ, අවුරුදු 25ක් තිස්සේ මේ ක්‍රීඩාංගණය හදනවා. පහුගිය අවුරුදු විසි පහේම හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරුන්ට මං සමහර වෙලාවට නරක විදිහට බැනලත් තියෙනවා. 95 තමයි ඔතන පෙන්නලා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය භාර ගත්තේ. හිඟුරක්ගොඩ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ නැකත මොකද්ද කියලා මට තේරෙන්නේ නෑ. මොකද විසි පස් අවුරුද්දකට වැඩියි අපි ඕකට දඟලන දැඟලිල්ල.
හිටපු ජනාධිපතිවරයා මෙසේ පවසන්නේ, වත්මන් විධායක කමිටු සාමාජිකයෙකු මෙන්ම, මෙම ක්‍රීඩාංගණය ඉදිකිරීමේ කටයුත්තේ මූලිකත්වය ද ගෙන කටයුතු කළ සූජීව ගොඩලියද්ද මහතා එම ස්ථානයේ සිටියදී ය. ක්‍රීඩාංගණයේ ඉදි කිරීම් සිදුවන අවස්ථාවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරය හෙබවූයේ තිලංග සුමතිපාල මහතායි. තිලංග සුමතිපාල මහතා සහ සුජීව ගොඩලියද්ද මහතා එම අවස්ථාවට එක්ව සිටි ආකාරය ඡායාරූපවලින් දැකගත හැකිය. වත්මන් ක්‍රිකට් සභාපතිවරයා වන ශම්මි සිල්වා මහතා එවක ශ්‍රී ලංකා ක්‍රිකට් භාණ්ඩාගාරිකවරයා ලෙස කටයුතු කළා. එසේම වත්මන් ක්‍රිකට් පරිපාලනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා එවක පරිපාලනයේද ලේකම්වරයායි. මෙම සියලු සාමාජිකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික සංවර්ධන කමිටුව මෙන්ම, ජාතික ව්‍යාපෘති කමිටුවේද සාමාජිකයන් වීම කැපී පෙනෙන කරුණකි. ක්‍රිකට් පරිපාලකයින් වරින්වර බලයට පත් වුවද එකම කණ්ඩායමක් විටින් විට බලය භාවිත කිරීම හරහා මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට අත්ව ඇති ඉරණම හොඳින් වටහාගත හැකියි. මෙම පරිපාලකයින් බලයේ සිටි කාල සීමාව තුළ සිදු වූ අවිධිමත් මූල්‍ය ගනුදෙනු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් විගණන වාර්තාව හරහා මෙන්ම කෝප් කමිටුව හරහා ද තොරතුරු රැසක් රටට හෙළි කෙරුණි. ගෞරවනීය සේවයකට බව පවසා ක්‍රීඩා සමාජ ඡන්දවලින් බලය ලබා ගන්නා ක්‍රිකට් පරිපාලකයින්,, විවිධ වරදාන, වරප්‍රසාද හිමිකර ගනිමින් සිදු කරන මෙවැනි අකටයුතුකම් සම්බන්ධයෙන් බලධාරීන් ක්‍රියාත්මක වන්නේ කවදාද?