නව ජනාධිපති කාර්ය සාධක බලකා 2ක්

නැගෙනහිර පුරාවිද්‍යාත්මක උරුම කළමනාකරණයට සහ සුරක්ෂිත රටක් වෙනුවෙන් නව ජනාධිපති කාර්ය සාධක බලකා 2ක්

by Staff writer 03-06-2020 | 7:45 AM

COLOMBO (News 1st) - අතිවිශේෂ ගැසට් නිවේදන දෙකක් නිකුත් කරමින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, ජනපති කාර්ය සාධන බලකා දෙකක් පත් කර තිබේ.

සුරක්ෂිත රටක්,විනය ගරුක, ගුණ ගරුක හා නීති ගරුක සමාජයක් ගොඩ නැගීම සඳහා වන ජනාධිපති කාර්ය සාධන බලකායට සාමාජිකයින් 13 දෙනෙක් ඇතුළත් වෙති. එහි සභාපති ධුරයට පත් කර ඇත්තේ, ආරක්ෂක ලේකම්, විශ්‍රාමික මේජර් ජෙනරල් කමල් ගුණරත්න මහතායි. යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා, ගුවන් හමුදාපති එයාර් මාෂල් සුමංගල ඩයස් සහ වැඩබලන පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න යන මහත්වරු ද මෙම කාර්ය සාධන බලකායට ඇතුළත් වෙති. ඔවුන්ට අමතරව පත් කර ඇත්තේ, රේගු අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරල් විජිත රවිප්‍රිය, ජාතික බුද්ධි ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරල් ජගත් අල්විස්, රාජ්‍ය බුද්ධි තොරතුරු සේවාවේ අධ්‍යක්ෂ මේජර් ජෙනරල් සුරේෂ් සලේ යන මහත්වරුන් ය. එමෙන්ම, යුද හමුදා බුද්ධි අංශයේ අධ්‍යක්ෂ මේජර් ජෙනරල් ඒ.එස්.හේවාවිතාරණ, නාවික හමුදා බුද්ධි අංශයේ අධ්‍යක්ෂ කපිතාන් එස්.ජේ.කුමාර, ගුවන් හමුදා බුද්ධි අංශයේ අධ්‍යක්ෂ එයාර් කොමදෝරු එම්.ඩී.ජේ.වාසගේ, පොලිස් විශේෂ කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පති ටී.සී.ඒ,ධනපාල සහ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර යන මහත්වරුන්ද මෙම කාර්ය සාධන බලකායට පත් කර තිබේ. එහි ලේකම් ධුරයට පත් කර තිබෙන්නේ ආරක්ෂක අමාත්‍යාංශයේ ජ්‍යේෂ්ඨ සහකාර ලේකම් ඩී.එම්.එස්.දිසානායක මහතායි. මේ අතර, නැගෙනහිර පළාතේ පුරා විද්‍යාත්මක උරුම කළමනාකරණය සඳහා ද ජනාධිපති කාර්ය සාධන බලකායක් පිහිටුවා තිබේ. එම බලකායට පුරාවිද්‍යා චක්‍රවර්ති පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන්, උතුරු නැගෙනහිර දෙපළාතේ සහ තමන්කඩුව දිශාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය පනාමුරේ තිලකවංශ හිමියන් ඇතුළු සාමාජිකයින් 11 දෙනෙක් ඇතුළත් වෙති. එම බලකායේ සභාපතිවරයා වන්නේ ද ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරල් කමල් ගුණරත්න මහතායි. පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක, ඉඩම් කොමසාරිස් ජනරාල් චන්ද්‍රා හේරත්, මැනුම්පතිනි ඒ.එල්.එස්.සී.පෙරේරා,කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය මහාචාර්ය රාජ් සෝමදේව,පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය කපිල ගුණවර්ධන යන මහත්ම මහත්මීන්ද එම බලකායට පත් කර තිබේ. එහි සෙසු සාමාජිකයින් වන්නේ බස්නාහිර පළාත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, නැගෙනහිර පළාත් ඉඩම් කොමසාරිස් එච්.ඊ.එම්.ඩබ්ලිවු.ජී.දිසානායක, සහ ව්‍යාපාරික දිලිත් ජයවීර යන මහත්වරුන් ය. එම කාර්ය සාධන බලකායේ ලේකම් ධුරයට, ජනාධිපති ජ්‍යේෂ්ඨ සහකාර ලේකම් ජීවන්ති සේනානායක මහත්මිය පත් කර තිබේ.