ඇමරිකානු විරෝධතා ලොව පුරා ව්‍යප්ත වන ලකුණු

ජාතිවාදයට එරෙහි ඇමරිකානු විරෝධතා ලොව පුරා ව්‍යප්ත වන ලකුණු

by Staff writer 03-06-2020 | 7:58 PM
COLOMBO (News 1st) : සුපිරි ප්‍රජාතන්ත්‍රවාදයේ මුහුණුවර වෙනස් කළ ඇමරිකාවේ ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතන විරෝධතා 8 වැනි දිනටත් අද ක්‍රියාත්මක විය. ඇමරිකානු පාලනය විසිර යන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිද්දී විරෝධතාකරුවන් ඉල්ලන්නේ යුක්තියයි. අමෙරිකාවේ ප්‍රාන්ත 23ක නගර 45ක ඇදිරිනීතිය ක්‍රියාත්මක වුව ද එය හුදෙක් ප්‍රකාශයක් පමණක් විය. වැල නොකැඩී එක්රොක් වන ජනතාව නිදි වර්ජීතව නිව්යොර්ක් නුවරත් වොෂින්ටන් නුවරත් සෙසු ප්‍රාන්තවලත් විවිධ ස්වරයෙන් එකම හඬක් ඉදිරියට ගෙනයමින් සිටී. මට හුස්ම ගන්න බැහැ... ජෝර්ජ් ෆොයිඩ්ගේ වදන් වැළෙන් මුවහත් වූ විරෝධය නිදහසේ හුස්ම ගන්න පුළුවන් වාතාවරණයක් ඉල්ලමින් පෙරට යමින් සිටී. විරෝධතාකරුවන් මැන්හැටන්හි ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වන බ්ලැක් අයිඩ් පීස් ගායක කණ්ඩයාමේ ගීතයක් ගයමින් ඉදිරියට ගියේ ය. එම ගීතයෙන් විමසන්නේ ආදරය කොහේ ද යනුවෙනි. නැගී එන විරෝධතා මැද ශාන්ත ලුසියා නගරයේ උකස් මධ්‍යස්ථානයක ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියෙකු විරෝධතාකරුවන්ගේ වෙඩි පහරින් මිය ගියේ ය. ඔහුට අමෙරිකානු ජනාධිපති ඩොලන්ඩ් ට්‍රම්ප් අවසන් බුහුමන් දැක්වූ බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. ප්‍රචණ්ඩත්වය කල කිරීම, අරගලය, සහ නොසන්සුන්තාව ගොඩනැගෙමින් තිබෙන පරිසරයක අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්රැන්ස්ස් පාප්වහන්සේ ආදරය හා දයාව යොමු කළේ ය. ඇමරිකාවේ නිව් ඕලින්ස්හි පොලිස් නිලධාරීන් දණ නමා සංකේතාත්මකව විරෝධතාකරුවන්ට සාමය ප්‍රකාශ කළ අතර ටෙනසී සහ අනෙකුත් නරගවල ඇමරිකානු ජාතික ආරක්ෂක භටයනුත් එලෙස දණ නමා තම සහෝදරත්වය විරෝධාතාකරුවන්ට ප්‍රකාශ කළේ ය. පසුගිය 27 වනදා ඝාතනයට ලක් වූ ජෝර්ජ් ෆ්ලොයිඩ් ගේ 06 හැවරිදි දියණියගේ මව ඉතා සංවේදී මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් කියා සිටියේ ඔහු හොඳ මිනිසෙකු බවයි . ඇමරිකාවේ හිටපු උප ජනාධිපති ජෝ බියිඩන් ජනපති ට්‍රම්ප්ගේ ක්‍රියා කලාපය දැඩි විවේචනයට ලක්කරයි. මිනිස්කම ඉල්ලන කළු විලාපය මේ වනවිට දේශසීමා තරණය කොට පැතිර යමින් පවතී. 2016 දී ප්‍රංශ පොලිසිය විසින් ඝාතනය කළා යැයි පැවසෙන කළු ප්‍රංශ ජාතිකයෙකුට සාධාරණය ඉල්ලමි ප්‍රශ්නයේ පැරිස් නුවර ඊයේ විරෝධතා ව්‍යාපාරයක් ද පැවැත් විණ. මේ අතර ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ද විරෝධතාවක් පැවැත්විය. පලස්තීන විරෝධතාකරුවන් , බෙත්ලෙහෙමේ ප්‍රධාන කිතුනු දේවස්ථානය ඉදිරිපිටට පැමිණ ඉල්ලා සිටියේ , කළු ජාතකියන්ට සිදුවන ,මෙම අසාධාරණකම් හා පලස්තීන ජනතාවට ඊශ්‍රායල් හමුදා විසින් සිදුකරන අජත්තේට්ටම් වහා නවත්වන ලෙස ඉල්ලමිනි. මේ විරෝධතා නවත්වන තැන ලකුණු කළ යුත්තේ අමෙරිකානු පාලනයයි. ගෙවුනු පැය ගණනාව තුළ අඳුරේ සිදුවූ දේ දහවලෙත් සිදුවුවහොත් පොලීසියේ ඉලක්කයත් විරෝධතාකරුවන්ගේ කුරුමාණමත් වරදින එකක් නැහැ. එවිට දුරස්වන්නේ මනුස්සකම්...