අමෙරිකාවේ අඛණ්ඩව 8 වැනි දිනටත් විරෝධතා

කළු ජාතිකයාගේ ඝාතනය: ලොව පුරා රටවල් රැසක විරෝධය

by Staff writer 03-06-2020 | 7:51 AM

News 1st - නිරායුධ කළු ජාතිකයකු වන ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනයට එරෙහිව ලොව පුරා රටවල් රැසක පුද්ගලයන් විරෝධය පළ කර තිබේ.

ඒ අනුව ප්‍රංශයේ පැරිස් සහ ලියෝන් නගර වැසියන් විරෝධතාවල නිරතවූයේ කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීමට පැන වූ සමාජ දුරස්ථභාවය පවත්වාගැනීමේ නීති ද නොතකා හරිමිනි. බ්‍රිතාන්‍යයේ ලිවර්පූර් ජනතාව දම්පැහැති එළි දල්වමින් ෆ්ලොයිඩ් ට සහය දැක්වුහ. නෙදර්ලන්තයේ, ඇම්ස්ටර්ඩෑම් සහ ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර වෙත රැස් වූ පුද්ගලයන් දහස් ගණනක් ද ජෝර්ජ් ෆ්ලොයිඩ්ට සහය දැක් වූ බව සඳහන් වේ. මීට පෙර එගංලන්තයේ ලන්ඩන්, අයර්ලන්තයේ ඩබ්ලින්, ජර්මනියේ බර්ලින්, ඉතාලියේ මිලාන්, කැනඩාවේ ටොරොන්ටෝ සහ බ්‍රසීලයේ රියෝ ද ජැනයිරෝ මෙන්ම නවසීලන්තය ද මෙම අමානුෂික ඝාතනය හෙළාදකිමින් විරෝධතාවල නිරත විය. ලෝක නායකයන් රැසක් ද ෆ්ලොයිඩ් ඝාතනයට එරෙහි විරෝධතාකරුවන්ට සහය පළ කළේ ඔවුන්ගේ හැඟීම් වටහාගත හැකි බව පවසමිනි. ඊට ජර්මානු විදේශ අමාත්‍යවරිය, රුසියානු , චීන සහ ඉරාන විදේශ අමාත්‍යංශ මෙන්ම ඕස්ට්‍රේලියාව, ජර්මනිය සහ බ්‍රිතාන්‍ය ද අයත් වේ. ජෝර්ජ් ෆ්ලොයිඩ්ට යුක්තිය ඉටුකරන ලෙස ඉල්ලා අමෙරිකාවේ විරෝධතා ඇරඹී මේ වනවිට දින 8 ක් ගතව අවසන් ය. අමෙරිකාවේ විරෝධතා, වර්ගවාදය සහ ජනාධිපති ට්‍රම්ප් ඊට දක්වන ප්‍රතිචාර පිළිබඳ කැනඩා අග්‍රාමාත්‍යවරයාගෙන් විමසූ අවස්ථාවේදී ඔහු ඊට ප්‍රතිචාර දැක්වීමට පෙර මඳ වේලාවක් නිහඬව සිටීම කෙරෙහි බොහෝ දෙනාගේ අවධානය යොමුවිය. සාමකාමී ලෙස ඇරඹි මෙම විරෝධතාවලින් කොටසක් මේ වනවිට ප්‍රචණ්ඩ විරෝධතා බවට පත්ව ඇතැයි ද සඳහන් ය. නිරායුධ කළු ජාතිකයෙකු වන ජෝර්ජ් ෆොලොයිඩ්ගේ ඝාතනයෙන් අනතුරුව අමෙරිකාවේ ඇති වූ උද්ඝෝෂණ මර්දනයට එරට නගර 40 කට අධික සංඛ්‍යාවකට පැන වූ ඇඳිරි නීතිය තව දුරටත් ක්‍රියාත්මක වේ. පසුගිය සතියේ අමෙරිකාවේ මිනසෝටා ප්‍රාන්තයේ පොලිස් නිලධාරියෙකු විසින් අත්අඩංගුවට ගැනීමකදී ජෝර්ජ් ෆ්ලොයිඩ් මිය යාමත් සමග ඇති වූ උද්ඝෝෂණ රැල්ල හමුවේ වොෂිංටන්, හුස්ටන්, ටෙක්සාස් ඇතුළු නගර රැසක ඇඳිරි නීතිය ක්‍රියාත්මක වේ. පශ්චාත් මරණ පරීක්ෂණයෙන් ඔහුගේ මරණය මිනී මැරුමක් බවට තහවුරු වී ඇති අතර අමෙරිකාවේ රූපවාහිනී සහ ගුවන් විදුලි නාලිකා ඊයේ දිනය කළු අඟහරුවාදා ලෙස කළේ, ෆොලොයිඩ්ගේ ඝාතනයට විරෝධය පළ කරමිනි. මේ අතර හිටපු අමෙරිකා ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් පවසන්නේ, ෆ්ලොයිඩ්ගේ ඝාතනය සම්බන්ධව තමා සහ බිරිඳ ලෝරා බුෂ් ශෝකයට පත්වන බවයි. ෆ්ලොරිඩාහි 2000 කට අධික පිරිසක් විරෝධතාවලට එක්ව ඇති අතර ෆ්ලොයිඩ්ගේ ගම් ප්‍රදේශය අයත් ටෙක්සාස්හි හුස්ටන් නගරයේ පැවැති විරෝධතාවලට 25,000 කට අධික පිරිසක් එක්ව තිබේ. වොෂිංටන්හි ධවල මන්දිරය පිහිටි ප්‍රදේශය ආශ්‍රිතව තවදුරටත් ඉහළ අරක්ෂාවක් යොදවා ඇති අතර ඇඳිරි නීතිය පනවා තිබෙන නමුත් විරෝධතාකරුවන් ද ඒ අසළින් ඉවත්ව නොමැති බවට විදෙස් වාර්තාවල සඳහන් ය. ෆිලඩෙල්ෆියා, චිකාගෝ, නැෂ්විල් වැනි ප්‍රදේශවල ද විරෝධතා ක්‍රියාත්මකයි. අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බී.බී.සී ලෝක සේවය වෙත සම්බන්ධ වෙමින් මෙම විරෝධතාකරුවන් ''මැර කල්ලියක්'' ලෙස හඳුන්වා ඇති අතර නොසන්සුන්තාව දිගින් දිගටම පැවතියහොත් එය පාලනයට හමුදාව යොදවන බවට ද පවසා තිබේ. මේ අතර ට්විටර් සටහනක් තබමින් ජනපති ට්‍රම්ප් පවසන්නේ, ඊයේ රාත්‍රියේ ලොව ආරක්ෂිතම ස්ථානය වොෂිංටන් බවයි. මේ අතර ඝාතනයට ලක් වූ ෆ්ලොයිඩ්ගේ 6 හැවිරිදි දියණිය සිය මව සමග මාධ්‍ය හමුවේ පෙනී සිටියා ය. එහිදී එම දියණිය වෙනුවෙන් හිටපු අමෙරිකා පැසි පන්දු ක්‍රීඩක ස්ටීවන් ජැක්සන් ද අදහස් දැක්වූවේ ය. මේ අතර ෆ්ලොයිඩ්ගේ ඝාතනයට ලොව පුරා විවිධ රටවල්වල ද විරෝධතා, සාමකාමී උද්ඝෝෂණ සහ විවිධ වැඩසටහන් පැවැත්විය. ඊට ප්‍රංශය, ආර්ජන්ටිනාව, ඊශ්‍රායලය වැනි රටවල් අයත් වේ.