*මහ බැංකුව යටතේ ඇති මූල්‍ය ආයතන කඩා වැටීමේ වගකීම මහ බැංකුව භාරගත යුතුයි - අගැමැති
*ලබන සඳුදා සිට තැන්පත්කරුවන්ගෙන් 97%ක් දක්වා මුදල් ගෙවනවා - නියෝජ්‍ය මහබැංකු අධිපති
COLOMBO (News 1st) : ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ පවතින මූල්‍ය ආයතන කඩා වැටීමේ වගකීම මහ බැංකුව භාරගත යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කර තිබේ.
අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, ද ෆිනෑන්ස් කම්පැනි PLC ආයතනයේ වත්මන් තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ඊයේ අරලියගහ මන්දිරයේ පැවති හමුවේදී අග්‍රාමාත්‍යවරයා මෙම කරුණු අවධාරණය කළ බවයි.
මූල්‍ය ආයතන දිගින්දිගටම කඩා වැටීම සහ ඒවායේ සිදුවන අක්‍රමිකතා හේතුවෙන් රජය අප්‍රසාදයට පත්වන බව පැහැදිලි කළ අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, නව නීති සකසා හෝ මෙවැනි මූල්‍ය වංචා වැළැක්වීමට පියවර ගත යුතුව ඇති බවයි.
තව ද ද ෆිනෑන්ස් කම්පැනි PLC ආයතනයේ තැන්පත්කරුවන්ට මුදල් ගෙවීම් කඩිනම් කරන ලෙස මෙහිදී අග්‍රාමාත්‍යවරයා දැනුම් දීමක් සිදු කර තිබේ.
මෙහිදී සාකච්ඡාව සඳහා සහභාගී වූ නියෝජ්‍ය මහබැංකු අධිපති කරුණාරත්න මහතා සඳහන් කර ඇත්තේ, ලබන සඳුදා (8) සිට තැන්පත්කරුවන්ගෙන් 97%ක් දක්වා මුදල් ගෙවීම් සිදු කරන බවත් ඉතිරි 3% සඳහා පසුව ගෙවීම් සිදු කරන බවත් ය.
අමාත්‍ය බන්දුල ගුණවර්ධන, ආමත්‍ය රමේෂ් පතිරණ, මහබැංකු අධිපති මහාචාර්ය ඩබ්. ඩී ලක්ෂ්මන්, නියෝජ්‍ය මහබැංකු අධිපති කරුණාරත්න, මුදල් අමාත්‍යංශ ලේකම් එස්. ආර්. ආටිගල සහ අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණි සෙනරත් ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.
https://www.facebook.com/NewsfirstSL/videos/250077539584089/