BREAKING : මහ මැතිවරණ පෙත්සම් ප්‍රතික්ෂේප කෙරේ

BREAKING : මැතිවරණ පෙත්සම් ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය කරයි

by Staff writer 02-06-2020 | 3:20 PM
COLOMBO (News 1st) : මැතිවරණ දිනය අභියෝගයට ලක්කරමින් ගොනු කළ පෙත්සම් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඬුල්ල ඒකමතිකව තීරණය කර තිබේ. ඒ, ජුනි 20 වැනි දා පාර්ලිමේන්තුව පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව විසින් දින නියම කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය සහ පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය බල රහිත කරන්නැයි, ඉල්ලා ගොනු කර තිබූ පෙත්සම් සලකා බැලීමේ තීරණය ප්‍රකාශයට පත් කරමිනි. ජුනි 20 වැනිදා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට දින නියම කරමින් මැතිවරණ කොමිසම සහ පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදන බල රහිත කරන්නැයි ඉල්ලා පෙත්සම් 8 ක් ගොනු කර තිබිණ. ඒවා ගොනු කරනු ලැබුවේ නිතිඥ චරිත ගුණරත්න , සමගි ජන බලවේගය ,රාවය උපදේශක කතෘ වික්ටර් අයිවන් , ජාතික හෙළ උරුමය නායක හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක , හිටපු ඇමති කුමාර වෙල්ගම ඇතුළු පිරිසක් විසිනි. මැතිවරණ දිනය අභියෝග කළ එක් පෙත්සමක් අතර මැදදී ඉදිරියට පවත්වාගෙන නොයාමට තීරණය කළේ, මැතිවරණ කොමිසම ජුනි 20 ඡන්දය පැවැත්වීමට නොහැකි බව අධිකරණයට දැනුම්දීමත් සමගයි. දින 10 ක් පුරා අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අළුවිහාරේ, සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ සෙසු පෙත්සම් පිළිබඳව ඉදිරිපත්වූ කරුණු සලකා බැලී ය. එහිදී අතර මැදි පාර්ශ්ව 15 ක් අධිකරණයේ කරුණු දැක්වී ය. ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් සළකා බැලීම ඊයේ 10වැනි දිනටත් සිදු වූ අතර එහිදී පෙත්සම් විභාගයට ගන්නවා ද?, නැද්ද? යන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අද පස්වරු 3.00ට ප්‍රකාශයට පත් කරන බව ප්‍රකාශ කෙරිණ . ඉදිරිපත්වූ කරුණු සළකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම් විභාගයට නොගැනීමට තීරණය කළ බව අද දැනුම් දුන්නේ ය. https://www.facebook.com/NewsfirstSL/videos/429640048011649/