සොයිසාපුර වෙඩි තැබීම: තවත් අයෙකු කොටු

සොයිසාපුර වෙඩි තැබීමේ සිද්ධියට අනුබල දුන් අයෙකු හෙරොයින් සමග අකුරැස්සේදී අත්අඩංගුවට

by Staff writer 02-06-2020 | 8:10 AM

COLOMBO (News 1st) –  මොරටුව, සොයිසාපුර ව්‍යාපාරික ස්ථානයකට වෙඩි තැබීම සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ අකුරැස්ස, රුහුණුගොඩහේන, බලකාවල ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී සැකකරු අත්අඩංගුවට ගත් බවයි. ඔහු පසුගිය 19 වැනිදා සොයිසාපුර ව්‍යාපාරික ස්ථානයකට පහරදී දේපොළවලට හානි සිදු කර පුද්ගලයෙකුට තුවාල සිදුකිරීම සහ පසුගිය 28 වැනිදා එම ව්‍යාපාරික ස්ථානයටම ස්වයංක්‍රීය අවිවලින් වෙඩි තබා පලායාමට අනුබලදීමට අදාළ සැකකරුවෙකු වන බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ ය. එසේම අදාළ පුද්ගලයා 2018 වසරේ මැයි 24 වැනිදා දෙහිවල ගල්කිස්ස නගර සභාවේ නාගරික මන්ත්‍රී රන්ජන් ද සිල්වා මහතා වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් පසු ඇප මත මුදාහැර සිටින අයෙකු ද වේ. පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ ඔහු 2017 වසරේ මාර්තු 01වැනිදා සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන රත්මලානේ 'රොහා' නැමැත්තා ඝාතනය කිරීමට උත්සාහ කළ අයෙකු ද වන බවයි. අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබී හෙරොයින් මිලිග්‍රෑම් 5 ක් සමග ජංගම දුරකතනයක්ද පොලිස් විශේෂ කාර්ය බලකාය භාරයට ගෙන තිබේ. සැකකරු වැඩිදුර විමර්ශන සඳහා සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය වෙත භාරදුන් බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ ය. සොයිසාපුර වෙඩි තැබීමේ සිද්ධියට අදාළව තවත් සැකකරුවෙකු පසුගියදා විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගනු ලැබිණි.