ලබන සඳුදා සිට පොදු ප්‍රවාහන සේවා සාමාන්‍ය පරිදි..

ලබන සඳුදා සිට සියලුම පොදු ප්‍රවාහන සේවා සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට තීරණය කෙරේ - මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යංශය

by Staff writer 02-06-2020 | 3:41 PM
? පුද්ගලික හා ලංගම බස් රථ උපරිමයෙන් ධාවනය කිරීමට පියවර.. ? පාසැල් ප්‍රවාහන බස් රථ, විනෝද හා වන්දනා ගමන් සඳහා යොදාගෙන ඇති බස් රථ තාවකාලිකව මගී ප්‍රවාහනය සඳහා යෙදවීමට පියවර

COLOMBO (News 1st) - ඉදිරි දින කිහිපය තුළ මහජන හැසිරීම මෙන්ම COVID-19 වසංගත තත්ත්වය හා සෞඛ්‍ය අංශ විසින් ලබා දෙන උපදෙස් සැළකිල්ලට ගනිමින් ලබන සඳුදා(08) සිට පොදු ප්‍රවාහන සේවා සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යංශය අද(02) තීරණය කර තිබේ.

ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ පැවති සාකච්චාවකදී එම තීරණය ගත් බව නිවේදනයක් නිකුත් කරමින් මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යංශය සඳහන් කළේ ය. එම සාකච්ඡාවට ලංගම, ජාතික ගමනාගමන කොමිසමේ සභාපතිවරු හා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් සහභාගි වී සිටියහ. එහි දී ගත් තීරණ අනුව ලබන සඳුදා(08) දුම්රිය හා බස් රථ ඇතුළු පොදු ප්‍රවාහන සේවා සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමත්, මතුවන ගැටළු හා අභියෝගවලට මුහුණ දෙන ආකාරයත් සාකච්ඡා කරනු ලැබිණි. අමාත්‍ය මහින්ද අමරවීර මහතා එම සාකච්ඡාවේදී පෙන්වා දී තිබෙන්නේ දැනට ලංගම බස් රථ 5300 ක් හා පුද්ගලික බස් රථ 23000ක් පමණ තිබුණ ද මගී ප්‍රවාහනයේ දී එම තත්ත්වය කිසිසේත්ම ප්‍රමාණවත් නොවනු ඇති බව ය. මගීන්ට ආසන නොමැතිව හිටගෙන යමාට පවා යාමට සිදුවන්නේ එම නිසා බව අමාත්‍යවරයා පෙන්වා දී තිබේ. COVID-19 නිසා ආසන ගණනට පමණක් මගීන් ප්‍රවාහනය අනිවාර්යය කර තිබෙන බැවින් එම නිසා සාමාන්‍ය පරිදි පොදු ප්‍රවාහන සේවා පවත්වාගෙන යාමේ දී ගැටලු රැසක් මතුවන බව අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන් බව ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ දැක්වේ. ඒ අනුව දැනට තිබෙන පුද්ගලික හා ලංගම බස් රථ උපරිමයෙන් ධාවනය කිරීමට පියවර ගෙන තිබේ. පාසැල් ප්‍රවාහන බස් රථ, විනෝද හා වන්දනා ගමන් සඳහා යොදාගෙන ඇති බස් රථ මෙන්ම ලියාපදිංචි කිරීමේ පොරොත්තු ලේඛනයේ ඇති සියලු බස් රථ තාවකාලිකව මගී ප්‍රවාහනය සඳහා යෙදවීමට එහිදී තීරණය කළ බව එම නිවේදනයේ දැකවේ. එම බස් රථ තාවකාලික ලියාපදංචි කිරීම හෙට දින(03) සිටම ඇරඹෙන අතර ජාතික ගමනාගමන කොමිසම හෝ ලංකා ගමනාගමන මණ්ඩලය මගින් අදාළ ලියාපදිංචි කිරීම් සිදු කරනු ඇති. එමෙන්ම දුම්රියේ දිනකට මගීන් 147,000 ක් පමණ ගමන් කරන අතර දුම්රිය තුළ ආසන ඇත්තේ 25,000 ක් පමණ අඩු ප්‍රමාණයක් බව අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ දැක්වේ. දුම්රියේ ද මගීන් ප්‍රවාහනය කරනු ලබන්නේ ආසන ගණනට පමණක් වන නිසා පොදු ප්‍රවාහනය භාවිතා කිරීමේ දී හැකිතාක් තම ගමන් බිමන් අත්‍යවශ්‍ය ඒ්වා සඳහා පමණක් සීමා කරන්නැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටියේය. කෙසේ වුවද ප්‍රවාහන සේවාවන් ලිහිල් කරනු ලබන්නේ සෞඛ්‍ය අංශ විසින් ලබා දෙන උපදෙස් පරිදි හා ඉදිරි දිනවල මහජනතාවගේ හැසිරීම මෙන්ම COVID - 19 රෝග තත්ත්වය සැළකිල්ලට ගනිමින් බවත් අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේ ය. අප රටෙන් තවමත් COVID - 19 වසංගත තත්ත්වය පහව ගොස් නොමැති බැවින් නිරන්තරයෙන් සෞඛ්‍ය අංශ විසින් ලබාදෙන උපදෙස්වලට අනුවම කටයුතු කළ යුතු බව අමාත්‍යවරයා සියලු ප්‍රවාහන අංශවලට දැනුම් දුන් බව එම නිවේදනයේ දැක්වේ. ප්‍රවාහන පහසුකම් සැලසීමේදී තවදුරටත් ආරක්ෂක අංශවල සහාය ලබා ගන්නා බව ද අමාත්‍යවරයා එම සාකච්ඡාවේදී සඳහන් කළ බව ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් විය.