ක්‍රිකට් ලොක්කන්ගේ තවත් දූෂණයක්

ක්‍රිකට් ලොක්කන්ගේ තවත් දූෂණයක්

by Staff writer 02-06-2020 | 9:20 PM
COLOMBO (News 1st) : පොළොන්නරුව, හිඟුරක්ගොඩ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් ප්‍රගතිය පිළිබඳ, ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යාපෘති සම්බන්ධීකරන ඉන්ජිනේරු නලීන් මිදිගස්පේගේ මහතා පසුගිය වසරේ ඔක්තෝබර් මස 7 වැනිදා කළමනාකරණ කමිටුවට ඉදිරිපත් කළ පත්‍රිකාවක් මඟින් ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු වාර්තා වී තිබේ. එම පත්‍රිකාවෙහි, 2019 සැප්තැම්බර් මස 30 වැනිදා වන විට ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් ප්‍රගතිය පිළිබඳ තොරතුරු දැක්වේ. ක්‍රීඩාංගණයේ පළමු අදියර ලෙස දක්වා තිබෙන්නේ, ක්ෂේත්‍ර සංවර්ධන කටයුතුයි. 2017 සැප්තැම්බර් 8 වැනිදා එම කටයුතු ආරම්භ කළ යුතු අතර 2018 මාර්තු 31 වැනිදා එය අවසන් කළ යුතුව තිබිණ. ඒ වෙනුවෙන් ගිවිසුම්ගත මුදල රුපියල් 50, 504 137.20කි. ක්‍රීඩාංගණ ඉදිකිරීමේ දෙවැනි අදියර ලෙස පස් පිරවීම සහ ඊට අදාළ කටයුතු දක්වා තිබේ. එහි ආරම්භක දිනය 2018 ජුනි 9 වැනිදා වන අතර 2018 සැප්තැම්බර් 9 වැනිදා අවසන් විය යුතුයි. මෙම අදියර වෙනුවෙන් ගිවිසුම්ගත මුදල රුපියල් 53 572 000.00කි. ක්‍රීඩාංගණයේ කාණු පද්දතිය හා ජල සැපසුම් පද්ධතිය සකස්කිරීම ද මෙහි තවත් අදියරකි. එය 2018 මැයි මස 31 වැනිදා ආරම්භ වී 2018 අගෝස්තු 31 වැනිදා අවසන් විය යුතුයි. ඒ වෙනුවෙන් ගිවිසුම්ගත මුදල රුපියල් 26 560 390.00 කි. අදාළ ක්‍රීඩාංගණය ඉදිකිරීමේ උපදේශන සේවා ආයතනය ලෙස " සුරත් වික්‍රමසිංහ ඇසෝෂියේට්ස් " ආයතනය කටයුතු කරන අතර කොන්ත්‍රාත් සමාගම වන්නේ, " ඉසුරු බිල්ඩර්ස් " ආයතනයයි. ව්‍යාපෘති කළමනාකරු ලෙස සමනල ගුණසේකර කටයුතු කරයි. පසුගිය වසරේ සැප්තැම්බර් 30 වැනිදා වන විට හිඟුරක්ගොඩ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යාපෘති සම්බන්ධීකරන ඉන්ජිනේරු නලීන් මිදිගස්පේගේ මහතා ලබා දී ඇති තොරතුරු නිවැරදි ද යන්න ගැටලුවකි. එසේ නම් ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ට අමතකව ගොස් තිබූ මෙම ක්‍රීඩාංගණයේ මූලික අදියර තුනක් වෙනුවෙන් ගිවිසුම් ගත වු රුපියල් 130 636 527.20 මුදල වෙනුවෙන් වගකීම් දරන්නේ කවුද? ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් සිදු කළ මෙවන් මුල්‍ය අකටයුතුකම් රැසක් පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් විගණන වාර්තාව හා කෝප් කමිටුව හරහා ද අනාවරණය විය. මෙරට ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් ලැබෙන මුදල් විනාශ කරන ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක වන්නේ කවදා ද? https://www.facebook.com/NewsfirstSL/videos/276865030387500/