ජනපති කොමිසම හමුවේ 711දෙනෙකුගෙන් ප්‍රකාශ

අප්‍රේල් 21 ප්‍රහාරය: ජනපති කොමිසම හමුවේ 711 දෙනෙකුගෙන් ප්‍රකාශ

by Staff writer 02-06-2020 | 8:42 AM

COLOMBO (News 1st) – අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ මේ වනවිට පුද්ගලයින් 711 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

එම කොමිසමේ ලේකම් එච්.එන්.බී.පී හේරත් මහතා පැවසුවේ, කොමිසම හමුවේ සාක්ෂි ලබාගත් පුද්ගලයින් සංඛ්‍යාව 146 ක් වන බවයි. සාක්ෂි විමසීම සඳහා අද දිනයේදීත් පුද්ගලයන් තිදෙ‍ෙනකු කොමිසම හමුවේ කැඳවා තිබේ. කොමිසමේ ලේකම්වරයා පැවසුවේ, අප්‍රේල් 21 දින එක් ප්‍රහාරයක් සිදුවූ දෙමටගොඩ, මහවිල උද්‍යානයේ පිහිටි නිවසේ සේවය කළ මුර සේවිකාව , අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උප පොලිස් පරීක්ෂකවරයෙක් හා වත්තල පොලීසියේ නිලධාරියෙක් අද දිනයේදී කැඳවා ඇති බවයි. ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයට අනියුක්තව කටයුතු කරන ප්‍රධාන නිලධාරියෙක් ඊයේ දිනයේදී කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නේ ය. එම කොමිසමේ කාලය සැප්තැම්බර් 20 වනදායින් අවසන් වීමට නියමිත ය.