විරෝධතාවල නිරත අමෙරිකානුවෙකු මරුට

යුක්තිය ඉල්ලා විරෝධතාවල නිරත අමෙරිකානුවෙකු මරුට

by Staff writer 01-06-2020 | 7:12 PM

News 1st - ලෝකයම වසංගතයක් සමග සටන් වදිමින් සිටියදී, නිරායුධ කළු ජාතිකයෙකු ඝාතනය කිරීම වෙනුවෙන් යුක්තිය ඉල්ලා විරෝධතාවල නිරත අමෙරිකානුවෙකු අද මිය ගියේය.

ඒ, කෙන්ටාකී ප්‍රදේශයේදී අමෙරිකානු ජාතික ආරක්ෂක බලකා සාමාජිකයින් සහ විරෝධාතකරුවන් අතර සිදු වූ වෙඩි හුවමාරුවේදීය. නිරායුධ කළු ජාතිකයෙකු වන ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනයට එරෙහිව විරෝධතා ආරම්භ වී අදට දින 6කි. විරෝධතා උත්සන්න වීමත් සමග වොෂින්ටන් අගනුවර ඇතුළු නගර 40 කට පමණ ඇඳිරි නීතිය පනවා තිබේ. ප්‍රාන්ත 15කට ජාතික ආරක්ෂක බලකා සාමාජිකයින් අනුයුක්ත කර ඇත්තේ විරෝධතා ප්‍රචණ්ඩ මුහුණුවරක් ගැනීමත් සමගිනි. මේ වනවිට අමෙරිකාව පුරා, විරෝධතා ව්‍යාප්ත වී අවසන් ය. ජෝර්ජ් ෆ්ලොයිඩ් වෙනුවෙන් යුක්තිය ඉල්ලා උද්ඝෝෂණවල නිරත වූ 4500 දෙනෙකු පොලිස් භාරයට පත්ව ඇත්තේ වෙඩි තැබීම කළ බවට චෝදනා එල්ල වූ සුදු ජාතික පොලිස් නිලධාරියා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත පසුබිමකදීය. මේ අතර, උද්ඝෝෂණ තීව්‍ර වීමත් සමග අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, බිරිඳ මෙලනියා ට්‍රම්ප් සහ පුතු බැරන් ට්‍රම්ප් ඇතුළු පවුලේ සාමාජිකයන් පසුගිය සිකුරාදා ධවල මන්දිරයේ බිම් මහලේ පිහිටි බංකරය වෙත රැගෙන ගියේය. එහි පැයක කාලයක් රැඳී සිටීමෙන් පසු ජනාධිපතිවරයා යළි ධවල මන්දිරයේ උඩු මහල වෙත පැමිණි බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.