මිහින්තලය ප්‍රා. සභාවේ සභාපතිවරයා ඇතුළු 8 කට ඇප

මන්ත්‍රීවරයෙකුට පහරදීම: මිහින්තලය ප්‍රා. සභාවේ සභාපතිවරයා ඇතුළු 8 දෙනෙකුට ඇප

by Staff writer 01-06-2020 | 5:57 PM

COLOMBO (News 1st) - මිහින්තලය ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකුට පහරදීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් එම පක්ෂයේ සමාජිකයින් වන එහි සභාපති සහ උපසභාපති ඇතුළු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු 8 දෙනෙකු ඇප මත මුදා හැර තිබේ.

ඒ, සැකකරුවන් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ජනක ප්‍රසන්න සමරසිංහ මහතා හමුවට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. සැකකරුවන්ට වෙන් වෙන් වශයෙන් රුපියල් ලක්ෂ 2 බැගින් ශරීර ඇප නියම කිරීමට ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ය. නඩුව යළි මේ මස 03 වැනි දා කැඳවීමට නියමිතය. මිහින්තලය ප්‍රාදේශීය සභාවේ සභාපති ලාල් සෙනෙවිරත්න, උපසභාපති ලලිත් එදිරිසිංහ ඇතුළු ප්‍රදේශීය සභා මන්ත්‍රීවරුන් 8 දෙනෙකු අද ඇප මත මුදාහැරි අය අතරට අයත් වේ. මිහින්තලය ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේ මන්ත්‍රී කේ. ඩී. උපාලි ආනන්ද මහතාට පහරදී තුවාල සිදු කිරීම සැකකරුවන්ට එල්ලවන චෝදනාවයි. පහරදීමට සම්බන්ධ සැකකරුවන් අද නීතිඥයෙකු මාර්ගයෙන් පොලීසියට භාර විය. තුවාල ලැබූ මන්ත්‍රීවරයා මේ වනවිට අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.