බන්ධනාගාරයේ සිට කරන අපරාධ වහාම නතර විය යුතුයි

බන්ධනාගාරයේ සිට කරන අපරාධ මෙහෙයුම් වහාම නතර විය යුතුයි - ජනපති අවධාරණය කරයි

by Staff writer 01-06-2020 | 10:47 PM
COLOMBO (News 1st): පාතාල නායකයින්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බන්ධනාගාරයේ සිට කරන අපරාධ මෙහෙයුම් වහාම නතර විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කළේය. ජනාධිපතිතුමා මේ බව පැවසුවේ අද පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදීය. බන්ධනාගාරවල අභ්‍යන්තර තත්ත්වය විමර්ශනය කිරීමේ අරමුණින් මෙම හමුව පැවැත්විය. එහිදී ජනාධිපතිතුමා පවසා ඇත්තේ රට තුළ සිදුවන බොහෝ අපරාධ සහ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් බන්ධනාගාරයේ සිට මෙහෙයවන බවට නිශ්චිත තොරතුරු අනාවරණය වී ඇති බවත් ඒ පිළිබඳව ජනතාව අතර ද දීර්ඝ කාලයක සිට පවතින මතය ඉතා කණගාටුදායක බවය. එය නිවැරදි කළයුතු බවත් බන්ධනාගාර ඇතුළත ජංගම දුරකතන භාවිතය සම්පූර්ණයෙන් තුරන් කළ යුතු බවත් ජනාධිපතිතුමා එහිදී අවධාරණය කළේය. ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වුණේ බන්ධනාගාරය හෝ පොලීසිය බිඳ වැටී ඇත්නම් රටේ නීතිය ක්‍රියාත්මක කිරීමේදී එය බලපාන බව ද ජනාධිපතිතුමා මෙහිදී පෙන්වා දුන් බවය. කුමන දේශපාලන මතයක් දැරුවද නිලධාරියෙකු හරි දේ කරන්නේ නම් එය අනුමත කරන බවත් දූෂිත සහ අකාර්යක්ෂම නිලධාරීන් හඳුනාගෙන ඔවුන් සම්බන්ධයෙන් නිවැරදි තීරණ ගත යුතුව ඇති බව ජනාධිපතිතුමා අවධාරණය කළ බවද එම නිවේදනයේ දැක්වේ. බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පවතින අඩු පාඩු ඉවත්කොට සම්පූර්ණයෙන් විධිමත් කරන බව ද ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කර තිබේ. නිලධාරීන් පුහුණු කිරීම්, දිරිගැන්වීම් ඇතුළු සියලු ක්‍රියාකාරකම් අධීක්ෂණ කණ්ඩායමකට යොමු කිරීමට ද මෙහිදී උපදෙස් දුන් බව සඳහන්ය.