ඩෙංගු මර්දනය: ජනපති සමග විශේෂ සාකච්ඡාවක්

ඩෙංගු ව්‍යාප්තිය වැඩිවන අයුරින් කටයුතු කරන අයට දැඩි නීති ක්‍රියාත්මක කරන්නැයි ජනපතිගෙන් උපදෙස්

by Staff writer 01-06-2020 | 6:19 PM

COLOMBO (News 1st) - ඩෙංගු ව්‍යාප්තිය වැඩිවන ආකාරයෙන් ක්‍රියාකරන පිරිස්වලට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

ඒ, ඩෙංගු මර්දන ජනාධිපති කාර්ය සාධන බලකාය සමග අද පැවති විශේෂ සාකච්ඡාවකදීය. පවතින වර්ෂාව පහව යාමෙන් පසු සිදුවිය හැකි ඩෙංගු ව්‍යාප්තිය මර්දනයට වහාම සූදානම් වන්නැයි ජනාධිපතිතුමා හා අග්‍රාමාත්‍යවරයා මෙහිදී උපදෙස් දුන්නේ ය. මෙහිදී අනාවරණ වූයේ, පසුගිය වර්ෂයට සාපේක්ෂව මේ වසරේ පළමු කාර්තුවේදී ඩෙංගු රෝගීන් සංඛ්‍යාව අඩුවී ඇති බවය. මෙහිදී ජනාධිපතිතිතුමා හා අග්‍රාමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දී ඇත්තේ සතියකට වරක් ආණ්ඩුකාරවරුන් සහ පළාත් පාලන ආයතන ප්‍රධානීන් රැස්වී සෞඛ්‍ය කමිටු සැළසුම් පසුවිපරමට ලක් කරන ලෙසය. මේ අතර යල කන්නයේ වී වගාව ආරම්භ වී තිබීමත් රට පුරා පුරන් කුඹුරු අස්වැද්දීමට ඇති නැඹුරුවත් නිසා මී උණ රෝගය ව්‍යාප්ත වීමේ ඉහළ අවදානමක් ඇතැයි සෞඛ්‍ය අංශ අනතුරු අඟවති. වසංගත රෝග විද්‍යා අංශයට නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ඒ පිළිබඳ අවධානයෙන් සිටීම ඉතා වැදගත් බවයි.