අමෙරිකානු ගගනගාමීන් දෙපළක් අභ්‍යවකාශ මධ්‍යස්ථානයට

ඩග් හර්ලි සහ බොබ් බෙන්කන් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ළඟා වෙයි

by Staff writer 01-06-2020 | 7:22 AM

COLOMBO (News 1st) –  අමෙරිකානු ගගනගාමීන් දෙපළක් වන ඩග් හර්ලි සහ බොබ් බෙන්කන් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ළඟා විය.

ඒ, ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත යැවූ ස්පේස් එක්ස් සමාගමට අයත් කැප්සියුලයෙන් ය. අමෙරිකානු නාසා ආයතනය මීට වසර නවයකට පෙර ශට්ල් යානා විශ්‍රාම ගැන්වීමෙන් පසු එම ආයතනයෙන් ගගනගාමීන් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්තානය වෙත යැවූ පළමු අවස්ථාව මෙය වේ. එමෙන්ම ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත පුද්ගලික සමාගමකින් ප්‍රවාහන සේවා මිලට ගනිමින් ගගනගාමීන් යැවූ පළමු අවස්ථාවයි. නාසා ආයතනයෙ පෞද්ගලික අංශයේ ප්‍රවාහන සේවා මිළදී ගැනීම හේතුවෙන් මෙම අභ්‍යවකාශ මෙහෙයුම නව යුගයක ආරම්භයක් බව විදෙස් වාර්තා පෙන්වා දෙයි. ඩ්‍රැගන් කැප්සියුලය පූර්ණ ස්වයංක්‍රීය ක්‍රමවේදයක් ඔස්සේ ක්‍රියාත්මක වේ. මෙම ගගනගාමීන් දෙදනාගේ අරමුණ වන්නේ මෙම අභ්‍යවකාශ කැප්සියුලයේ සියලුම පද්ධති නිසි ආකාරව ක්‍රියාත්මක වන්නේදැයි සොයා බැලීම සහ ඔවුන්ගේ ප්‍රතිචාරය ඉංජිනේරුවන් වෙත ලබා දීමයි. ඔවුන් දෙදෙනා ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත යැවීමට පසුගිය සතියේ සියලු කටයුතු සූදානම් කර තිබූ නමුත් අයහපත් කාලගුණ තතත්වය හේතුවෙන් එය අතැහැර දැමීමට සිදු විය.