අමෙරිකානු විරෝධතා තවදුරටත් ප්‍රචණ්ඩ වෙයි

කළු ජාතිකයා ඝාතනට එරෙහි අමෙරිකානු විරෝධතා තවදුරටත් ප්‍රචණ්ඩ වෙයි

by Staff writer 01-06-2020 | 1:17 PM

COLOMBO (News 1st) –  ලොවක් කම්පා කළ ජෝර්ජ් ෆ්ලොයිඩ් නම් නිරායුධ කළු ජාතිකයා පොලිස් අත්අඩංගුවේදී මියයාම අද වනවිට අමෙරිකාව තුළ දැඩි කැළඹීමක් ඇති කර තිබේ.

ඔහුගේ මරණයත් සමග කැළඹුණු අමෙරිකානුවන් ''බ්ලැක් ලයිව්ස් මැටර්'' නම් උද්ඝෝෂණය ව්‍යාපාරයක් මේ වනවිට ක්‍රියාත්මක කිරීම හේතුවන් එය මැඩලීමට එරට රජයට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුව තිබේ. ඊට අදාළ සංවේදී දර්ශන මේ වනවිට සමාජ ජාලා ඔස්සේ හුවමාරු වෙමින් තිබේ. අමෙරිකාවේ සුදු ජාතිකයෙක් දුන්නක් සහ ඊතලයක් රැගෙන යූටාහි විරෝධතාකරුවන් දෙසට එල්ල කරමින් කියා සිටියේ ''සියලු ජීවිත වැදගත්'' යන්නයි. ඉන් පසුව එම ස්ථානයේ උණුසුම් තත්ත්වයක් ඇති විය. ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ අමානුෂික මරණයත් සමග අමෙරිකාව පුරා ප්‍රචණ්ඩකාරී සහ සාමකාමී උද්ඝෝෂණ ඇති විය. ඇඳිරි නීතිය බල පැවැත්වූ අවස්ථාවකදී පෝර්ට්ලන්ඩ් නගරයේ පුද්ගලයෙකුට අමානුෂික ලෙස හිසට පහර දෙන අයුරු ලොවට අනාවරණය කළේ, ට්විටර් සමාජ ජාලයයි. එමෙන්ම පෝර්ට්ලන්ඩ් නගරයේ තවත් ස්ථානයක පොලීසිය විරෝධතාකරුවන්ට සහය පල කළේ ය. අමෙරිකාවේ ඇතැම් නගරවල පොලිස් නිල රථවලට ගිනි තැබීම් සහ ව්‍යාපාරික ස්ථාන මංකොල්ලකෑම් වාර්තා විය. මේ අතර එරටින් ලැබෙන වාර්තා පවසන්නේ උද්ගත වී ඇති තත්ත්වය හමුවේ අමෙරිකාවේ ජාතික ආරක්ෂක සේවයේ 5000 ආසන්න බල සේනාවක් වොෂිංටන් අගනුවර ඇතුළු ප්‍රාන්ත 15කට අනියුක්ත කර ඇති බවයි. වොෂිංටන්හි විරෝධතාවලදී කැරලි මර්ධන නිලධාරීන්ට රතිඤ්ඤා සහ ගල් මුල් ප්‍රහාරද එල්ල විය. කොලොම්බියා ප්‍රාන්තයේ විරෝධතාකරුවන් පිරිසක් මහමග විනාඩි 9ක කාලයක් බිම වැතිරී '' මට හුස්ම ගන්න බැහැ. '' යන පාඨය සඳහන් කරමින් තම විරෝධතාවය දැක්වූයේ ජෝර්ජ් ෆ්ලොයිඩ් තම අවසන් හුස්ම හෙළු ආකාරය සිහි කිරීමට ය. ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණය නැවතත් මතු වී තිබෙන්නේ වසර ගණනාවක් මුළුල්ලේ අමෙරිකාවේ කළු ජාතිකයන්ට මුහුණදීමට ඇති සමාජ ආර්ථික අසමානත්වය, වෙන්කිරීම් සහ පොලිස් ඝාතන ඇතුළු බොහෝ කටුක අත්දැකීම් ඉවසා ගත නොහැකි වූ උච්චතම අවස්ථාවක් බව විචාරකයන් පෙන්වා දෙයි. මීට සතියකට පෙර විරෝධතා ආරම්භ වූ දින සිට පැවැති විරෝධතාවලදී අත්අඩංගුවට පත් වූ පිරිස සිය ගණනකට අධික ය.