by Staff writer 31-05-2020 | 9:17 AM
COLOMBO (News 1st) - මොරටුව, සොයිසාපුර ප්‍රදේශයේ හෝටලයකට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ (STF) බුද්ධි අංශයේ කණ්ඩායමක් විසින් ඊයේ රාත්‍රී අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ, පානදුර, එළුවිල ප්‍රදේශයේදීය.
2018 වසරේ මැයි 24 වැනි දා දෙහිවල - ගල්කිස්ස මහනගර සභාවේ නාගරික මන්ත්‍රීවරයකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු ඔහු බව ද පොලීසිය පැවසීය.
පොලීසිය පැවසුවේ, සැකකරු රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇප මත මුදා හැර සිටින අයෙකු බවයි.
අත්අඩංගුවට ගත් සැකකරු මොරටුව, අඟුලාන, සමුද්‍රාසන්න පාරේ පදිංචි 34 හැවිරිදි අයෙකි.
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ඔහු 'කොන්ඩ ජනිත්' යන අනුවර්ත නාමයෙන් හැඳින්වේ.
සැකකරු සන්තකයේ තිබී ජංගම දුරකතනයක් හා සිම් කාඩ්පතක් සොයා ගෙන ඇත.
පසුගිය 29 වැනි දා අලුයම මොරටුව, සොයිසාපුර ප්‍රදේශයේ හෝටලයක් අසළට මෝටර් රථයකින් පැමිණි නාඳුනන සැකකරුවන් පිරිසක් ස්වයංක්‍රීය ගිනි අවිවලින් හෝටලයේ වීදුරුවලට වෙඩි තබා පළාගොස් තිබුණි.
අත්අඩංගුවට ගත් සැකකරු අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.