අමෙරිකාවේ විරෝධතා දරුණු වෙයි

කළු ජාතිකයාගේ ඝාතනයට එරෙහි අමෙරිකාවේ විරෝධතා දරුණු වෙයි

by Staff writer 31-05-2020 | 8:01 AM

COLOMBO (News 1st) - අමෙරිකාවේ නිරායුධ කළු ජාතිකයෙකු මරා දැමීමට එරෙහි උද්ඝෝෂණ තවදුරටත් උත්සන්න වී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, නිව්යෝර්ක්, පිට්ස් බර්ග් ඇතුළු නගර 30 ක් පුරා මෙම උද්ඝෝෂණ ව්‍යාප්ත වී ඇති බවය. හිටපු පොලිස් නිලධාරියකු, ජෝර්ජ් ෆ්ලොයිඩ් නැමති කළු ජාතිකයා ඝාතනය කරන අයුරු දැක්වෙන වීඩියෝ පටයක් නිකුත්වීම මෙම විරෝධතා ඇරඹීමට හේතුවිය. මේ හමුවේ මිනිසෝටා ජාතික ආරක්ෂක බලකාය පූර්ණ වශයෙන් බලාත්මක කිරීමට පියවර ගත් අතර එසේ කෙරුණේ දෙවන ලෝක යුද්ධයට පසුව ප්‍රථම වරටයි. කොලොම්බියා දිස්ත්‍රික්කය මෙන්ම ජෝර්ජියා, ඔහායෝ, කොලරාඩෝ, යූටා, කෙන්ටකි, විස්කොන්සින් ඇතුළු ප්‍රාන්ත 7 ක් ජාතික ආරක්ෂක බලකාය කැඳවීමට හෝ බලාත්මක කිරීමට පියවර ගෙන ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් විය. දින 7 ක් පුරා පැවති ප්‍රචණ්ඩ උද්ඝෝෂණ අමෙරිකාව පුරා ව්‍යාප්ත වීම මෙයට හේතුවිණි. සියැට්ල්, ඇට්ලැන්ටා, පිලඩෙල්ෆියා, ඩෙන්වර්, ලොස් ඇන්ජලීස්, කොලොම්බස් සහ ක්ලීව්ලන්ඩ් ඇතුළු නගර රැසක් වෙත ඇඳිරි නීතිය පනවා තිබේ. නිව්යෝර්ක් නුවර විරෝධතාකරුවන් රැසක් අත්අඩංගුවට ගෙන ඇති අතර මයෑමි නගරයේ පොලිස් මුලස්ථානය වෙත විරෝධතාකරුවන් රැස් වූ බව ද සඳහන් විය.