දැරියකට මරු කැඳවූ උඩුපිල පිපිරීම

උඩුපිල නිවසක වැසිකිළි වලක පිපිරීමකින් 12 හැවිරිදි දැරියක් මරුට

by Staff writer 31-05-2020 | 8:36 PM

COLOMBO (News 1st) – උඩුපිල, ඉසිගිලි කන්ද ප්‍රදේශයේ වැසිකිළි වලක ඇතිවූ පිපිරීමකින් 12 හැවිරිදි දැරියක් මියගොස් තවත් දෙදෙනෙකුට බරපතල තුවාල සිදු විය.

අදාළ පිපිරීම සිදුව තිබුණේ ඊයේ පස්වරු 5.00 ට පමණ ය. සිද්ධිය ඇසින් දුටුවෙක්
"මීයෝ හාරලා තිබ්බා පල්ලැහට ගඳ යනවා ඒ හින්දා කාබයිට් ගෙනල්ලා දැම්මා. දාලා ගිනි ගොඩක් පත්තු කළා. ඊට පස්සේ තමයි ටිකක් වෙලා ගියාට පස්සේ නංගි හිටියේ ටොයිලට් වලට උඩ. ඊට පස්සේ පිපිරුවා"
මියගිය දැරියගේ සීයා
"ගෙට ගියා බුලත් විටක් කාලා එන්න. කාලා මේ හරියට එනකොට ඩෝන් ගාලා පිපිරුවා. මගේ ඇගේ හිටන් මේ වැලි තාම ඔළුවේ. මගෙ කන් දෙක මෙව්වා වුණා. ඇදලා ඇදලා තමයි ළමයාව ගොඩ ගත්තේ"
මියගිය දැරියගේ සහෝදරිය
"අම්මා හිටියේ මේ පැත්තේ. නංගි හිටියේ මැද්දේ ඉදලා තියෙන්නේ. අම්මා හිටියේ අයිනේ. මොකක් වුණාද මංදා. එක පාරට පිපිරිලා මාව විසික් වුණා. මං පිටිපස්ස හැරිලා බලනකොට නංගිගේ කකුල විතරයි තිබුණේ උඩ"
පිපිරීමත් සමග වැසිකිළි වලට වැටී සිටි 12 හැවිරිදි දැරිය ගොඩ ගෙන තිබුණේ ප්‍රදේශවාසීන්ගේ මැදිහත්වීමෙන් ය. පිපිරීමෙන් තුවාල ලැබු මව සහ දැරියන් දෙදෙනා ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කළ අතර එහිදී 12 හැවිරිදි තක්ෂිලා දනුෂි දැරිය මිය ගියේ ය. ඇය ඇඹරලුව මිහිඳු කණිෂ්ඨ විද්‍යාලයේ 7 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි ශිෂ්‍යාවකි. දරුවන් සිව්දෙනෙකුගෙන් යුත් පවුලේ තුන්වැන්නා ඇයයි. පිපිරීමෙන් බරපතල තුවාල ලැබු මව මේ වනවිට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර ඇයගේ දෙපා ඉවත් කර ඇතැයි රෝහල් බලධාරීන් පැවසුවේ ය.‍ මීගහවත්ත පොලීසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ.