ඇමති ආරුමුගන් තොණ්ඩමන් අවසන් ගමන් යයි

ඇමති ආරුමුගන් තොණ්ඩමන් අවසන් ගමන් යයි

by Staff writer 31-05-2020 | 6:25 PM

COLOMBO (News 1st) –  අභාවප්‍රාප්ත අමාත්‍ය ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ රාජ්‍ය ගෞරව සහිතව සිදු කෙරිණි.

අවසන් කටයුතු සිදු කරනු ලැබුවේ, නෝර්වුඩ්හි සෞම්‍යමූර්ති තොණ්ඩමන් ක්‍රීඩාංගණයේදීය. දේහය පිළිබඳ අවසන් කටයුතු පැවති අවස්ථාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පක්ෂ විපක්ෂ දේශපාලන නායකයින් පිරිසක් සහභාගී වූහ. අමාත්‍ය ආරුමුගන් තොණ්ඩමන් මහතා පසුගිය 26වැනිදා අභාවප්‍රාප්ත විය. මිය යනවිට ඒ මහතාට වයස අවුරුදු 55කි. ආරුමුගන් තොණ්ඩමන් මහතා උපත ලැබුවේ 1964 වසරේ මැයි මස 29 වැනිදායි. ඔහු දේශපාලනයේ නිරත වුණේ තම මුත්තණුවන් වූ සෞම්‍යමූර්ති තොණ්ඩමන් මහතාගේ අඩිපාරේ යමින් ය. 1994 වසරේදී නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ඔහු පාර්ලිමේන්තුවට පිවිසුණේ ය. ලංකා කම්කරු කොංග්‍රසයට නායකත්වය දුන් ඔහු මෙරට ප්‍රධාන පක්ෂ නායකයින් සමග සමීපව කටයුතු කළ දේශපාලන නායකයෙකි. වර්තමාන අමාත්‍ය මණ්ඩලයේ ද සාමාජිකයෙකු වන ඔහු මින් පෙර විවිධ අමාත්‍ය ධුර හොබවමින් කඳුරට ජනතාවට දැවැන්ත සේවයක් ඉටු කළේ ය. පශු සම්පත් හා වතු යටිතල පහසුකම් අමාත්‍ය ධුරය කිහිපවරක්ම හෙබවූයේ ආරුමුගන් තොණ්ඩමන් මහතායි.