ක්‍රිකට් බලධාරීන් පොළොන්නරුවට..

Sports 1st අනාවරණයෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් පොළොන්නරුවට

by Staff writer 30-05-2020 | 10:15 PM

COLOMBO (News 1st) : ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් ඉදිකිරීම් ආරම්භ කොට නටඹුන් වෙමින් තිබූ පොළොන්නරුව ක්‍රිකට් ක්‍රීඩාංගණය පිළිබඳ ස්පෝර්ට්ස් ෆස්ට් සිදු කළ අනාවරණයෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් අද එම ක්‍රීඩාංගණයට පැමිණියේ ය.

රුපියල් බිලියන 8 ක් වියදම් කරමින් හෝමාගම, දියගම ඉදිකිරීමට යෝජිත ක්‍රිකට් ක්‍රීඩාංගණය පිළිබඳව තවදුරටත් බලධාරීන් සිහින දකිද්දී පොළොන්නරුවේ ඉදිකිරීමට යෝජිත තවත් ක්‍රීකට් ක්‍රීඩාංගණයකට අත්ව ඇති ඉරණම පිළිබඳව අප පසුගිය බ්‍රහස්පතින්දා අනාවරණය කළේ ය. රුපියල් කෝටි 40 ක ඇස්තමේන්තු සහිතව පොළොන්නරුවේ ඉදිකිරීම් ආරම්භ කළ ක්‍රිකට් ක්‍රීඩාංගණය වෙනුවෙන් 2017 වර්ෂයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් වෙන් කළ මුදල රුපියල් දොලොස් කෝටි පනස් ලක්ෂයකි. අප කළ හෙළිදරව්වෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් උප සභාපති රවීන් වික්‍රමරත්න මහතා අද මෙම ක්‍රීඩාංගණයේ නිරීක්ෂණ චාරිකාවක නිරතව තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් උප සභාපතිවරයා පොළොන්නරුව දිස්ත්‍රික් ක්‍රිකට් බලධාරීන් හා අදාළ කොන්ත්‍රාත්තුව හිමි සමාගමේ හිමිකරු සමග ද සාකච්ඡාවක් පවත්වා තිබේ. ඔහු එහිදී ප්‍රකාශ කර ඇත්තේ මාස 3 ක් ඇතුළත් මෙම ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් කටයුතු අවසන් කරදීමට කටයුතු කරන බවයි. ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා ප්‍රකාශ කරනු ලැබුවේ මෙම ක්‍රීඩාංගණය වෙනුවෙන් මෙතෙක් වැය වී ඇත්තේ මිලියන 100 ක් හෙවත් රුපියල් කෝටි 10 ක් බවයි. ක්‍රීඩාංගණයේ වැඩ කටයුතු නැවත ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් සූදානම් වූ පසු 2017 ක්‍රීඩාංගණය ඉදිකිරීම් ආරම්භ කළ තත්ත්වයට ගෙන ඒම වෙනුවෙන් වියදම් කළ රුපියල් කෝටි 10 යක මුදල වෙනුවෙන් වගකීම් දරන්නේ කවුරුන් ද ? අදාළ ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් සම්බන්ධයෙන් සිදු වූ සියලු තොරතුරු ඉදිරියේදී අනාවරණය කිරීමට අපි සූදානමින් සිටිමු. එමෙන්ම හෝමාගම දියගම ඉදිකිරීමට යෝජිත ක්‍රිකට් ක්‍රීඩාංගණය පිළිබඳව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී පළ කළ අදහස් සම්බන්ධයෙන් විවිධ පාර්ශව මත පළ කළේ ය. සමගි ජන බලවේගය අපේක්ෂක ජේ.සී. අලවතුවල මහතා වර්තමාන රජයේ අමාත්‍යවරුන්ට මානසික ආබාධයක් තියෙනවාද කියලා අපිට හිතෙනවා. කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන අමාත්‍යතුමා කියනවා හිඟා කාලා හරි එයා මේ ක්‍රීඩාංගණය හදනවා කියලා. අපිට කමක් නෑ එතුමා ජිල් බෝල ගහන්න හරි එතුමාගේ ගෙදර ක්‍රීඩාංගණ හදා ගත්තට මේක මේ ඉතාමත් වටිනා රජයේ ඉඩමක්. අපේ රට ජාත්‍යන්තර වශයෙන් නියෝජනය කරපු අර්ජුන රණතුංගගේ ඉඳලා සියලුම ක්‍රීඩකයින් කියනවා මේක නිෂ්ඵල ක්‍රියාවක් අපිට ජාත්‍යන්තර වශයෙන් ක්‍රීඩාංගණ 8 ක් තියෙනවා. ඉතින් එහෙම තියෙද්දී තමයි මේ බන්දුල ගුණවර්ධන ඇමතිතුමාගේ දොළ දුකක් තියෙන්නේ මේ ක්‍රීඩාංගණය සම්බන්ධයෙන්. කුමක් සඳහා මේ දොළ දුක තියෙනවා ද කියලා අපි දන්නේ නෑ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ජනක රණවක මහතා සමහර අය මාධ්‍ය ඉස්සරහට ආවා තමන්ට කැමති දේ කියලා තමන් ලකුණු දා ගන්න හදනවා. සමහර අය පොඩ්ඩක් හිට් වෙන්නත් එක එක දේවල් කියනවා. ඒ හැම දෙයක්ම ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ මතය නෙවෙයි. මම දැක්කා සමහර අය කියනවා හිඟා කාලා හරි ක්‍රිකට් ක්‍රීඩාංගණ හදනවා කියලා. අපි හිඟා කන ජාතියක් නෙවෙයි. හිඟා කාලා ක්‍රිකට් ක්‍රීඩාංගණ හදන්න තරම් පහත් මට්ටමක් අපේ නෑ. අපේ මානසික මට්ටම අපි උඩින් ඉන්නේ.   https://www.facebook.com/NewsfirstSL/videos/2858225297608731/