මල්වතු මහා නායක හිමියන්ගේ 76 වැනි ජන්ම දිනය..

අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමියන්ගේ 76 වැනි ජන්ම දිනය..

by Staff writer 30-05-2020 | 8:27 PM

COLOMBO (News 1st) : සියම් නිකායේ මල්වතු පාර්ශවයේ මහා නායක අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමියන්ගේ 76 වැනි ජන්ම දිනය අදට යෙදී තිබුණි.

මෙරට උගත් වියත් ධර්මධර භික්ෂූන් වහන්සේ අතර ප්‍රමුඛස්ථානයක් ගන්නා තිබ්බටුවාවේ සුමංගල නාහිමියන් මාතලේ, තිබ්බටුවාව ගම්මානයේදී උපත ලැබුවේ වර්ෂ 1944 වසරේ මැයි මාසයේ අද වැනි දිනකදී ය. උන්වහන්සේ කීර්ති ශ්‍රී රාජසිංහ මහ රජු ප්‍රථමවරට මල්වතු මහාවිහාර ප‍ාර්ශවයේ මහපදවියට පත් කළ තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ බුද්ධ රක්ඛිතභිධාන මහනායක මාහිමියන්ගේ සඟ පරපුරෙන් පැවත එන පූජණීය සංඝ පීතෘවරයෙකි. 1957 ජූනි මස 10 වැනිදා මහනුවර මල්වතු මහා විහාරීය මංගල උපෝසථාගාරයේ දී පැවිදි දිවියට ඇතුළත් වූ උන්වහන්සේ 1964 ජූනි මස 10 වැනිදා උපසම්පදාව ලැබූවේ ය. පසුව ශ්‍රී සුමංගල හිමියන් ශාසනික ප්‍රතිපදා සපුරා මල්වතු මහාවිහාර පාර්ශවයේ කාරක සංඝ සභාවට ද පත්වූ අතර සියම් නිකායේ මල්වතු පාර්ශවයේ මහානායක පදවියට පත්වුණේ 2004 වසරේ ජූනි මස 20 වැනිදා ය. තම නිකායේ භික්‍ෂූන් වහන්සේගෙන් පමණක් නොව සෙසු නිකායවල භික්ෂූන් වහන්සේ අතර ද මහත් ප්‍රසාදයට පත්ව ගරුබුහුමන් ලබන අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමියන් ශාසනික හා සමාජීය වශයෙන් ඉටු කරන්නේ මහාර්ඝ මෙහෙවරක් ය. https://www.facebook.com/NewsfirstSL/videos/697467597755362/