මහ මැතිවරණයේ පෙත්සම් සලකා බැලීම නැවත කල්යයි

මහ මැතිවරණයේ පෙත්සම් සලකා බැලීම නැවත කල්යයි

by Staff writer 29-05-2020 | 8:00 PM

COLOMBO (News 1st) :  ජුනි 20 වැනිදා මහ මැතිවරණය පැවැත්වීම අභියෝගයට ලක්කරමින් ගොනු කර ඇති පෙත්සම් වැඩිදුර සලකා බැලීම ලබන සඳුදා පෙරවරු 10.00 දක්වා කල් තබා තිබේ.

විධායක ජනාධිපතිවරයෙකු සිටින රටක් ලෙස මෙරට පවත්වාගෙන යෑම, ජනාධිපතිවරයකු නොමැතිව කල නොහැකි බව ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා අද ශ්‍රේෂ්ඨාධිකරණයේදී ප්‍රකාශ කළේ ය. නමුත් පාර්ලිමේන්තුවක් නොමැතිව රටේ කටයුතු ඉදිරියට පවත්වාගෙන යා හැකි බව ඔහු එහිදී ප්‍රකාශ කර තිබේ. පාර්ලිමේන්තු මැතිවරණ දිනය අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම්වලට එරෙහි අතරමැදි පෙත්සම්කරුවෙකු වන මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා වෙනුවෙන් මුලික කරුණු දක්වමින්ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා මේ බව පැවසුවේ මේ අතර, පාර්ලිමෙන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදනය බල රහිත කරන්නැයි ඉල්ලමින් ගොනු කර ඇති පෙත්සම් සඳහා අතරමැදි පාර්ශ්වයක් ලෙස සම්බන්ධ වූ නීතිඥ ක්‍රිෂ්මාල් වර්ණසුරිය මහතාට තවදුරටත් කරුණු දැක්වීමට අවස්ථාව ලබාදිය නොහැකි බව අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතා අද දැනුම් දුන්නේ ය. ඒ, සිය සේවාදායකයා අධිකරණයට ඉදිරිපත් කර ඇති කරුණු සහ ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ක්‍රිෂ්මාල් වර්ණසුරිය මහතා අධිකරණයට ඉදිරිපත් කර ඇති කරුණු අතර පරස්පර විරෝධතාවන් නිරීක්ෂණය කිරීම හේතුවෙන් ය. එලෙස කරුණු දැක්වීමට ඉඩදීමෙන් සිය සේවාදාකයාට අගතියක් වන බවත් තම සේවාදායකයාගේ ස්ථාවරය සෘජුවම අධිකරණය හමුවේ ප්‍රකාශ කළ හැකිදැයි ක්‍රිෂ්මාල් වරුණසුරිය මහතාගෙන් විමසීමක් සිදු කර තිබේ. ඒ සම්බන්ධයෙන් වැඩිදුර කරුණු දැක්වීමට විනාඩි 5ක කාලයක් ලබාදෙන ලෙස ක්‍රිෂ්මාල් වර්ණසුරිය මහතා කළ ඉල්ලීමට විනිසුරු මඩුල්ල අවසර ලබාදීම ප්‍රතික්ෂේප කර තිබේ. මේ අතර, අතරමැදි පෙත්සම්කරුවන්ගේ කරුණු දැක්වීම්වලදී සිය සේවාදායකයා වන මැතිවරණ කොමිෂන් සභාව දැඩි විවේචනයට ලක්ව ඇති බවත් එබැවින් ඒ වෙනුවෙන් කරුණු දැක්වීමට තමන්ට අවස්ථාවක් ලබා දෙන ලෙස ජනාධිපති නීතිඥ සාලිය පිරිස් මහතා විනිසුරු මඩුල්ලලෙන් ඉල්ලීමක් කළ බව වාර්තා වේ. එහිදි ජනාධිපති නීතිඥ වී.කේ චෝක්සි මහතා කියා ඇත්තේ, තමන්ද මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිටින බැවින් ඒ සදහා අවස්ථාව ලබාදිය යුතු බවයි. මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන්ට ඒ පිළිබඳව සාකච්ජා කොට පෙනී සිටින නීතිඥවරයා කවුදැයි තීරණය කර අධිකරණයට දැන්වීමෙන් පසුව ඒ සඳහා අවස්ථාව ලබාදිය හැකි බව එහිදී විනිසුරු මඩුල්ල දැනුම් දුන්නේ ය. පෙත්සම් වැඩිදුර සලකා බැලීම ලබන සදුදා පෙරවරු 10 දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද දින නියම කළේ ය.