පොලිස් කෲරත්වයට එරෙහිව අමෙරිකාවේ විරෝධතා

පොලිස් කෲරත්වයට එරෙහිව අමෙරිකාවේ තුන්වන දිනටත් විරෝධතා 

by Staff writer 29-05-2020 | 10:15 PM

COLOMBO (News 1st) : අමෙරිකාවේ පොලිස් කෲරත්වයේ ගොදුරක් වූ ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණයට විරුද්ධව යුක්තිය ඉටුකරන ලෙස ඉල්ලා තුන් වන දිනටත් විරෝධතා පැවැත්විය.

විරෝධතාකරුවන් එම සිද්ධිය වූ ප්‍රාන්තයේ පොලීසියටද ගිනි තබා තිබු බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. 46 හැවිරිදි ෆ්ලොයිඩ් සිය අවසන් හුස්ම හෙලුවේ පොලිස් නිලධාරියෙකු සිය ගෙලෙහි දණහිස තබමින් මිනිත්තු කිහිපයක් තද කරමින් සිටියදී ය. ලොවක් කම්පනයට පත් කළ සිද්ධියට අදාළ වීඩියෝවකින් දැක්වෙන්නේ ෆ්ලොයිඩ් 'මට හුස්ම ගන්න බැහැ' කියමින් අදාළ නිලධාරියාගෙන් අයැද සිටින ආකාරයයි. කිසියම් වංචාවකට සැකපිට අත්අඩංගුවට ගත් ජෝර්ජ් ෆ්ලොයිඩ් මිය ගියේ පසුගිය සඳුදා දිනයි. ඊට සම්බන්ධ නිලධාරීන් සිව්දෙනා වහාම සේවයෙන් පහ කළ නමුත් ෆ්ලොයිඩ්ගේ පවුලේ සාමාජිකයින් සහ ප්‍රජා නායකයින් ඉල්ලා සිටින්නේ අදාළ පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගන්නා ලෙසයි. පැවති විරෝධතා හේතුවෙන් වෙළෙඳසැල් 170 කට අධික සංඛ්‍යාවකට හානි සිදුව ඇති අතර පොලීසිය විසින් විරෝධතාකරුවන්ට කඳුළු ගෑස් ප්‍රහාරද එල්ල කොට තිබේ. මෙම විරෝධතා සඳහා කොලරාඩෝ,ඩෙන්ව සහ නිව්යෝර්ක් ඇතුළු නගර රැසක ජනතාව එක්ව සිටිය හ. මේ හේතුවෙන් මිනසෝටා ජාතික ආරක්ෂක බලකාය අදාළ නගර වෙත යොදවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්වල සඳහන් වේ. ට්ව්ටර් පණිවුඩයක් නිකුත් කරමින් ජනපති ට්‍රම්ප් ප්‍රකාශ කර සිටියේ මංකොල්ලකෑම් ආරම්භ වනවිට වෙඩි තැබීම් ආරම්භ වන බවයි. නිව්යෝර්ක් පොලිස් දෙපාර්තමේන්තුව ඊයේ පැවති විරෝධතා අතරතුරදී අත්අඩංගුවට ගැනීම් 40 කට වැඩි ප්‍රමාණයක් සිදුකර ඇති බව වාර්තා වේ.