'පළමුව ජනතාව' ජනපති ලෝක ප්‍රජාව හමුවේ කියයි

කෙතරම් දුෂ්කරතා පැමිණිය ද 'පළමුව ජනතාව' ජනපති ලෝක ප්‍රජාව හමුවේ කියයි

by Staff writer 29-05-2020 | 12:51 PM
COLOMBO (News 1st) : මුහුණ දීමට ඇති දුෂ්කරතා කුමක් වුවද 'පළමුව ජනතාව' යන ප්‍රතිපත්තිය අත්නොහරින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලෝක ප්‍රජාව හමුවේ අවධාරණය කළේ ය. ජනාධිපතිවරයා පවසන්නේ, අප වඩා අගයන එකම වත්කම මානව සංවර්ධනය බවයි. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, COVID -19 සහ ඉන් ඔබ්බට යුගයේ සංවර්ධනය සඳහා මූල්‍යකරණය පිළිබඳ ඉහළ පෙළේ වීඩියෝ සම්මන්ත්‍රණයට ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ සිට එක්වෙමිනි. ලොව ප්‍රධාන පෙළේ ආධාර කණ්ඩායම්වල හා නායකයින්ගේ වගකීම තමන් අතර කොන්දේසි පනවා නොගෙන සංවර්ධන හවුල්කරුවන් ලෙස ඉදිරියට යාම බව ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේ ය. මහා පරිමාණ ද්විපාර්ශ්වික හා බහුපාර්ශ්වික නියෝජිත ආයතනවල කඩිනම් ක්‍රියාමාර්ග වේගවත් කොට සංවර්ධනය වෙමින් පවතින රටවල හා මධ්‍ය ආදායම් ආර්ථිකයන්හි සංවර්ධනයට දායක විය යුතු බව ද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේ ය. අධ්‍යාපනය, සෞඛ්‍යය , කාන්තාවන් හා ළමයින්, නව අපනයන කර්මාන්ත, ආහාර සුරක්ෂිතතාව හා වඩා යහපත් හා ස්ථාවර ලොවක් වෙනුවෙන් පරිසර සුරැකීම ඇතුළු මානව සංවර්ධන අංශ කෙරෙහි අවධානය යොමු කිරීමට රටවල් දිරි ගැන්විය යුතු බව ද, එහිදී ප්‍රකාශ කළේ ය. ජනාධීපතිවරයා අවධාරණය කළේ, හදිසි ආධාර පහසුකම්තුළින් සංවර්ධනය වෙමින් පවතින හා මධ්‍ය ආදායම් රටවලට සහය වන්නේ කෙසේ දැයි මෙම කතිකාවත තුළින් එකඟත්වයක් මතු විය යුතු බවයි. රටවල් 49 ක් සහ ජාත්‍යන්තර සංවිධාන 08 ක ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් නිව්යෝර්ක්හි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ සම්බන්ධීකරණයෙන් වීඩියෝ සම්මන්ත්‍රණය පැවැත්වුණු අතර ආරම්භක ප්‍රකාශ කැනේඩියානු අගමැති ජස්ටින් ටෲඩෝ, ජැමෙයිකා අගමැති ඇනඩෘ හොලෙස් ,එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටේර්ස් යන මහත්වරු සිදු කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසී ය.