ඡන්ද දිනය: පෙත්සම් සළකා බැලීම හෙටට කල් යයි

UPDATE : මහ මැතිවරණ පෙත්සම් සළකා බැලීම හෙටට කල් යයි

by Staff writer 28-05-2020 | 2:25 PM
COLOMBO (News 1st) : ලබන ජුනි 20 වැනිදා පාර්ලිමේන්තුව පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව විසින් දින නියම කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය සහ පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය බල රහිත කරන්නැයි, ඉල්ලා ගොනුකර ඇති පෙත්සම් වැඩිදුර සලකා බැලීම හෙට පෙරවරු 10 දක්වා කල් තැබීමට ශේෂ්ඨාධිකරණය අද දින නියම කළේ ය. එම පෙත්සම් අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෘ, ප්‍රියන්ත ජයවර්ධන හා විජිත් මලල්ගොඩ යන පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ අද සලකා බැලුනේ, 8 වැනි දිනටයි. පෙත්සම්වලට අතරමැදි පාර්ශවකරුවන් ලෙස මැදිහත්වීමට අධිකරණය විසින් අවසර ලබා දී ඇති පාර්ශවකරුවන් 15 දෙනා අතරින් ජූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, කේ. ත්‍යාගරාජා, මල්වතු පාර්ශවයේ අධිකරණ සංඝනායක අතපත්තුකන්දේ ආනන්ද හිමි, වෛද්‍ය ගුණදාස අමරසේකර හා මහාචාර්යය සුදන්ත ලියනගේ යන අය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරුන් අධිකරණය හමුවේ කරුණු දක්වනු ලැබී ය. ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පියවර ගෙන ඇත්තේ දේශපාලන හේතු මත බවත් රටේ ප්‍රධානියා මෙන්ම විධායකය වන ජනාධිපතිවරයාගේ එවැනි දේශපාලන තීන්දුවක් සම්බන්ධයෙන් මැදිහත්වී නියෝග ලබා දීමට ශ්‍රේෂ්ඨාධිකරණයට නීතිමය වශයෙන් බලයක් නොමැති බව අතපත්තුකන්දේ ආනන්ද හිමියන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ගාමිණි මාරපන මහතා මෙහිදී අධිකරණයට පෙන්වා දුන්නේ ය. ජනාධිපති නීතිඥවරයා එහිදී අධිකරණයට පෙන්වා දුන්නේ, මහ මැතිවරණය පැවැත්වීමට නියම කළ දිනය දිගු කාලයකට කල් දැමීම රටේ ජනාතාවගේ සර්වජන ඡන්ද බලයට අභියෝග කළ බලපෑමක් මෙන්ම ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බවයි. ස්වාධීනව කටයුතු කළ යුතු මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් අතර පවතින වෙනත් මත පිළීබද ජනතාව අතර කුතුහලයක් ඇතිවී ඇතැයි එහිදී ඔහු විනිසුරු මඩුල්ලට පෙන්වා දුන්නේ ය. ඔහු පැවසුවේ, වැළැක්විය නොහැකි කරුණක් උද්ගත වූ විට සාධාරණ කාලයකට මැතිවරණය කල් තැබීමේ අයිතිය මැතිවරණ කොමිෂන් සභාවට ඇතත් මෙලෙස දිගු කාලයකට මැතිවරණය කල් තැබීම අයුක්ති සහගත බවයි. ලබන ජුනි 20 වැනිදා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට එරෙහිව පෙත්සම ඉදිරිපත් කොට ඇත්තේ එය පෞද්ගලික අභිමතාන්තර සාක්ෂාත් කර ගැනීමේ අරමුණින් මිස රටේ ප්‍රජාතන්ත්‍රවාදය නීතිය හෝ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් නොවන්නේ යැයි වෛද්‍ය ගුණදාස අමරසේකර මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කුෂාන් ද අල්විස් මහතා එහිදී අධිකරණයට පෙන්වා දුන්නේ ය. මැතිවරණයක් නිසි කලෙක නොපැවැත්වීමෙන් රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කරනුයේ කෙසේදැයි මහාචාර්යය සුදන්ත ලියනගේ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා සිය කරණු දැක්වීම මගින් පවසා සිටියේ ය.