''කිරිගව ගනුදෙනු පසෙක දමා ජනතාව ජීවත් කරවන ගනුදෙනුවට ප්‍රවේශ වෙන්න'' - සජිත් ආණ්ඩුවෙන් ඉල්ලයි

by Staff writer 28-05-2020 | 3:50 PM
COLOMBO (News1st) :ඔස්ට්‍රේලියාවෙන් කිරි ගවයින් ගෙන්වීම ඵල රහිත බවත් එම තීරණය අත්හිටුවිය යුතු බව ත් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ඒ ඔස්ට්‍රේලියාවෙන් කිරි ගවයින් 2500ක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමි වූ බව ප්‍රකාශ වීමෙන් පසුවයි. මාධ්‍ය ‍වෙත අදහස් දක්වමින් ඔහු පෙන්වා දෙන්නේ, කිරිවලින් රට ස්වයංපෝෂිත කිරීමේ ප්‍රතිපත්තියට රටේ එකඟ වන නමුත් බාල කිරිගවයින්ගෙන් ගෙන්වීම ඊට විසඳුම නොවන බවත් ය. මේ දක්වා කිරිගවයින් ආනයනය සඳහා ඔස්ට්‍රේලියාව සමග සිදු කළ ගනුදෙනු හරහා අපේක්ෂිත අරමුණු ඉටු වී නොමැති බවත් ඒවා සියල්ලම බාල ගනයේ, ප්‍රමිතයෙන් තොර බව ඔප්පු වී ඇති බව අවාධාරණය කළේ ය. පෙර සිදුවූ ගනුදෙනුවලට අදාළ දූෂණ වංචා, අඩු ප්‍රමිතයේ කිරිගවයින් ආනයනය වැනි කරුණුවලට අදාළ විගණකාධිපති වාර්තා, විවිධ පරීක්ෂණ, අධ්‍යන විමර්ශනය කර රටට ඵලදායි ආකාරයේ තීන්දු ගතයුතුව ඇති බව ද ප්‍රේමදාස මහතා අවධාරණය කර සිටියේ ය. කොරෝනා වංසගතයෙන් බැට කා සිටින රටට බාල ගනයේ ගවයින් ආනයනය කර ගොවීන්ට සහනයක් සැලසිය නොහැකි බැවින් කිරි ගව ගනුදෙනු පසෙක දමා එකී මුදල් යොදා මේ මොහොතේ රටේ ජනතාව ජීවත් කරවන ගනුදෙනවට ප්‍රවේශවන ලෙස ඔහු රජයෙන් ඉල්ලා සිටීයේ ය.