''තොණ්ඩමාන් අහිමි වීම සමජයට දැඩිව දැනෙනු ඇති''

''තොණ්ඩමාන් අහිමි වීම සමජයට දැඩිව දැනෙනු ඇති'' - ජනපති

by Staff writer 27-05-2020 | 10:16 PM
COLOMBO (News 1st) : ආරුමුගන් තොණ්ඩමාන් මහතාගේ හදිසි අභාවය පිළිබඳ පුවත ඇසීමෙන් තමා බලවත් සංවේගයට පත් වූ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශෝක පණිවුඩයක් නිකුත් කරමින් පවසයි. එහි දැක්වෙන්නේ තොණ්ඩමාන් මහතා අඩු වරප්‍රසාදිත වතු කම්කරුවන්ගේ ආර්ථික හා සමාජීය සමෘද්ධිය වෙනුවෙන් කැපවූ නායකයෙකු බවයි. මුත්තණුවන් වූ සෞම්‍යමූර්ති තොණ්ඩමන් මහතාගේ පුරෝගාමිත්වයෙන් ඇරඹු දැවැන්ත මෙහෙවර ඉදිරියට ගෙන ගිය ඔහු, කඳුකරයේ දෙමළ ප්‍රජාවගේ දුක්ගැනවිලි සමනය කිරීමට අප්‍රතිහත ධෛර්යයෙන් ක්‍රියා කළ බවද ජනාධිපතිතුමා සිහිපත් කර තිබේ. ආරුමුගන් තොණ්ඩමාන් මහතා ඉදිරියට ගෙන ගිය අරගල හේතුවෙන් වර්තමානයේ වතු ප්‍රජාවට ඉහළ ජීවන තත්ත්වයක් උදා වී ඇති බව ද මෙම පණිවුඩයේ සඳහන් ය. ජනාධිපතිවරයා පවසන්නේ ජනතාවාදී දේශපාලනඥයෙකු වූ තොණ්ඩමාන් මහතා අහිමි වීම සමජයට දැඩිව දැනෙනු ඇති බවයි.