කොළඹ, ගම්පහ හැර අන්තර් පළාත් බස් සේවාව අද සිට

කොළඹ, ගම්පහ හැර අන්තර් පළාත් බස් සේවාව අද සිට

by Staff writer 26-05-2020 | 6:37 AM

COLOMBO (News 1st) - කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්ක හැර අන්තර් පළාත් බස් සේවා අද ආරම්භ වේ.

මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය සඳහන් කළේ, ලංගම හා ගමනාගමන කොමිසම විසින් සෞඛ්‍ය අංශ විසින් රජයට දී ඇති උපදෙස් අනුව කොළඹ හා ගම්පහ හැර සෙසු ප්‍රදේශවල අන්තර් පළාත් බස් රථ සේවා අද සිට ආරම්භ කරන බවය. ඒ අනුව මාර්ග 5 ක් ඔස්සේ පැමිණෙන බස් රථ කොළඹ දක්වා ධාවනය කෙරෙන්නේ නැත. නුවර මාර්ගයේ පැමිණෙන අන්තර් පළාත් බස් රථ ධාවනය කෙරෙනුයේ නිට්ටඹුව දක්වා පමණි. කොළඹ 05 මාර්ගයේ පැමිණෙන අන්තර් පළාත් බස් රථ මිනුවන්ගොඩ දක්වා පමණක් ධාවනය කෙරෙනු ඇති. ගාලුපාරේ පැමිණෙන අන්තර් පළාත් බස් රථ පානදුර තෙක් පමණක් ධාවනය කිරීමට ඉඩ සළසා තිබේ. අවිස්සාවේල්ල හරහා කොළඹට හයිලෙවල් හා ලෝ ලෙවල් පාරේ ගමන් කරන අන්තර් පළාත් බස් රථ අවිස්සාවේල්ලෙන් සීමාවනු ඇති. අනුරාධපුර - පුත්තලම හා කුලියාපිටිය සිට මීගමුව පාරෙන් කොළඹට පැමිණෙන අන්තර් පළාත් බස් රථ මීගමුව දක්වා ධාවනය කිරීමට නියමිතය. දක්ෂිණ අධිවේගී මාර්ගයේ හම්බන්තොට සිට බස් රථ ධාවනය කොට්ටාවෙන් අවසන් වනු ඇති. බස් රථ ධාවනය අලුයම 4.30 ට ආරම්භ කෙරෙන අතර පස්වරු 6.00 ට අවසන් කිරීමට නියමිතය. බස් රථවලින් ගාස්තු අය කළ යුත්තේ එම බස් රථ නවත්වන ස්ථානය දක්වා පමණක් බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය සඳහන් කළේ ය. බස් රථවල ගමනාන්තය, පැහැදිලිවම ඉදිරි පස වීදුරුවේ සඳහන් කළ යුතු අතර සෞඛ්‍ය අංශ විසින් දී ඇති උපදෙස් අනුව මුව ආවරණ සෑම මගියෙක් විසින් පැළඳිය යුතු වේ. මේ අතර ලංකා ගමනා ගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ඒ.එච්.පණ්ඩුක මහතා පැවසුවේ, අද සිට දිවයින පුරා ලංගම බස් සේවා ක්‍රියාත්මක බවය.