කටාර්: ලාංකිකයින් 275ක් කඩිනමින් රැගෙන ඒමට පියවර

කටාර්හි සිටින ශ්‍රී ලාංකිකයින් 275 දෙනෙකු කඩිනමින් මෙරටට රැගෙන ඒමට පියවර

by Staff writer 26-05-2020 | 1:48 PM

COLOMBO (News 1st) - කටාර්හි සිටින ශ්‍රී ලාංකිකයින් 275 දෙනෙකු ඉතා ඉක්මනින් මෙරටට රැගෙන ඒමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් සිටින බව විදේශ කටයුතු පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, ගර්භනී මව්වරුන් 50 දෙනෙකු පමණක් මෙරටට පැමිණීමේ බලාපොරොත්තුවෙන් කටාර්හි සිටින බවය. එම මව්වරුන් අද හෝ හෙට මෙරටට රැගෙන ඒමට අපේක්ෂා කරන බව ජයනාත් කොළඹගේ මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය. ඊට අමතරව ශ්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින අනෙකුත් පුද්ගලයින් සියලු දෙනා ඉතා ඉක්මනින් මෙරටට රැගෙන ඒමට අවශ්‍ය කටයුතු මේ වනවිටත් සම්පාදනය කරමින් සිටින බව ඔහු පැවසුවේ ය. මේ අතර අද දිනයේ කටාර් රාජ්‍යයේ සිට ශ්‍රී ලාංකිකයන් පිරිසක් මෙරටට රැගෙන ඒමට සැළසුම් කර තිබූ ගුවන් ගමන තාවකාලිකව අවලංගු කිරීමට ඊයේ පියවර ගැනුණි. විදේශ සම්බන්ධතා පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා සඳහන් කළේ, කුවේට් රාජ්‍යයේ සිට ඉකුත් දා මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකිකයන් අතරින් මේ වනවිට නිරෝධායනය වෙමින් සිටින පිරිසකට කොරෝනා වෛරසය ආසාදනය වීම එම ගුවන් ගමන අවලංගු කිරීමට හේතු වූ බවයි. මේ අතර එම යානයෙන් මෙරටට පැමිණීමට නියමිතව සිටි ශ්‍රී ලාංකිකයින්ට අවශ්‍ය පහසුකම් සපයන ලෙස කටාර්හි වැඩ බලන ශ්‍රී ලංකා තනාපතිවරයාට උපදෙස් ලබාදුන් බව විදේශ ලේකම් රවිනාත ආරියසිංහ මහතා ප්‍රකාශ කළේ ය.