හෙට සිට දිවයිනටම පොලිස් ඇඳිරි නීතිය ලිහිල් කෙරේ

හෙට සිට දිවයිනටම පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන්නේ රාත්‍රී 10.00 සිට අලුයම 4.00 දක්වා පමණි

by Staff writer 25-05-2020 | 4:47 PM

COLOMBO (News 1st) - හෙට 26 අඟහරුවාදා සිට දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල පොලිස් ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වන්නේ දිනපතා රාත්‍රී 10.00 සිට අලුයම 4.00 දක්වා බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, පොලිස් ඇඳිරි නීතිය ලිහිල් කළ ද කර්මාන්තශාලා, ආයතන, කාර්යාල සහ වෙළෙඳසැල් පවත්වාගෙන යාමේදීත්, මගී ප්‍රවාහනයේදීත් කොරෝනා වෛරසය පාලනය පිණිස සෞඛ්‍ය බලධාරීන් නියම කර ඇති පිළිවෙත් මුළුමනින්ම අනුගමනය කළ යුතු බවය. විෂබීජ හරණය, මුඛ ආරවණ පැළඳීම, විටින් විට අත් සේදීම සහ සමාජ දුරස්ථ බව තබා ගැනීම ඊට අයත් ය. රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේ ආයතනවල සේවයට කැඳවන සේවක සංඛ්‍යාව, කැඳවන්නේ කුමන සේවකයන් ද යන්න ඒ, ඒ ආයතනය සලසන සේවාව සහ සෞඛ්‍ය මාර්ගෝපදේශ පදනම් කොටගෙන තීරණය කිරීම ආයතන ප්‍රධානීන්ට පැවරි තිබේ. රජය ජනතාවගෙන් ඉල්ලා සිටීන්නේ, පොලිස් ඇඳිරි නීතිය ලිහිල් කිරීමෙන් පසුවද සෞඛ්‍ය නියමයන් පිළිපදිමින් එදිනෙදා කාර්යයන්හි නිරත වන්න ලෙසය. හෙට, 26 අඟහරුවාදා සිට කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක අතර ගමනාගමනයට ද අවසර ලබා දී තිබේ.