සීෂෙල්ස් රටින් හදිසියේ පැමිණි 35 දෙනා කවු ද?

සීෂෙල්ස් රටින් හදිසියේ පැමිණි 35 දෙනා කවු ද?

by Staff writer 25-05-2020 | 9:53 PM

COLOMBO (News 1st) - සීෂෙල්ස් සිට පසුගිය සෙනසුරාදා හදිසියේ මෙරටට පැමිණි එරට වැසියන් 35 දෙනා පිළිබඳව මේ වනවිට මහත් ආන්දෝලනයක් ඇතිවී තිබේ.

ඒ, ආපසු පැමිණීමට නොහැකිව ශ්‍රී ලාංකිකයින් 300 කට අධික පිරිසක් එරට රැඳී සිටින පසුබිමක් තුළය. සීෂෙල්ස් වැසියන් 28 දෙනෙකු ප්‍රතිකාර සඳහා පැමිණ ඇතැයි විදේශ සබඳතා පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා පැවසුවේ ය. ඔවුන් සීෂෙල්ස් රාජ්‍යයෙන් පිටත් වීමට පෙර PCR පරීක්ෂාවකට ලක් කර තිබේ. කොළඹගේ මහතා කියා සිටියේ, මෙරටට පැමිණීමෙන් පසුව පිරිස රජයේ අනුමත තරු පහේ හෝටලයක නිරෝධායනය සඳහා යොමු කළ බවය. නිරෝධායන කාලයෙන් පසුව එම පිරිස යළි මෙරටදී PCR පරීක්ෂාවකට ලක් කර රෝහල් කරා යොමු කිරීමට නියමිත බව අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා පැවසුවේ ය. ඔහු සඳහන් කළේ, මෙම සියලු කටයුතු වෙනුවෙන් වියදම් සීෂෙල්ස් පිරිස විසින් පුද්ගලිකව දරන බවයි. ඔවුන් මෙරට පුද්ගලික රෝහලකින් ප්‍රතිකාර ගැනීම සඳහා අවසර ඉල්ලා ඇති අතර බහුතරයක් හෘද හා අක්මා රෝගීන් ය. යළි ඔවුන් රැගෙන යාමටද සීෂෙල්ස් සිට ගුවන් යානා මෙරටට පැමිණීමට නියමිතය. ශ්‍රී ලංකාවේ සීෂෙල්ස් මහ කොමසාරිස් කොන්රැඩ් මෙඩ්රික්,
සීෂෙල්ස් රාජ්‍ය ශ්‍රී ලංකාව සමග වෛද්‍ය ක්ෂේත්‍රයේ දිගු කාලයක පටන් සම්බන්ධකම් පැවැත්වනවා. මේ යටතේ සීෂෙල්ස් සිට ශ්‍රී ලංකාවට රෝගීන් විශාල පිරිසක් එනවා ප්‍රතිකාර ලබා ගන්න. ගිය අවුරුදු කිහිපයේ විතරක් 2000 ක් පමණ ඇවිල්ලා තියනවා. සාමාන්‍යයෙන් සීෂෙල්ස් රාජ්‍ය ප්‍රතිකාර සඳහා රෝගීන් යනවා රටවල් කිහිපයක් තියනවා. ඉන්දියාව, ලංකාව හා මූරුෂස් ඒ අතර ප්‍රධානයි.
අද පස්වරුවේ මහ කොමසාරිස්වරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, ආසධ්‍ය රෝගීන් 11 දෙනෙකු සහ ඥාතීන් ශ්‍රී ලංකාවට පැමිණි පිරිස අතර සිටින බවය. ඔවුන් හෘද රෝග සඳහාත් පිළිකා රෝගී තත්ත්වයන්ට ප්‍රතිකාර ගැනීමට පැමිණ ඇතැයි ද ඔවුන් පැවසූහ. මහ කොමසාරිස්වරයා පවසන පරිදී මෙම රෝගීන් විශේෂඥ වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය පිරිසකි. මේ අතර දිවයිනට පැමිණීමට නොහැකිව සීෂෙල්ස්හි රැඳී සිටින ශ්‍රී ලංකිකයින් ඔවුන් මුහුණදී සිටින තත්ත්වය පිළිබඳව අදහස් පළ කළහ.
අපි දැනට මේ සීෂෙල් රාජ්‍යයේ මාස 3 ක පමණ කාලයක් සිට ලංකාවට ඒමට විදියක් නැතුව සිර වෙලා ඉන්නවා. මොකද අපි එයාර් ලයින් එකේ ටිකට් පවා බුක් කරලා තිබෙන්නේ. ලෙඩ හැදිච්ච කට්ටිය ඉන්නවා බෙහෙත් ගන්න විදියක් නැතුව. එතකොට ජිඕපී ඉවර වෙලා කට්ටිය ඉන්නවා ඒත් එක්කම රස්සාවල් නැතුව ගොඩක් කට්ටිය ඉන්නවා. කාරුණිකව ඉල්ලා සිටිනවා. අපිට ගෙන්නගන්න. ප්ලයිට් එකක් එවන්න රජයට වියදම් කරන්න යුතු නැහැ. අපි ඔක්කොම ටිකට්ස් අරං තියෙන්නේ. සමහරුන්ට ගෙදරට සල්ලි යවන්න විදියක් නැහැ. ගෙදර දරුවෝ වයිෆ් බඩගින්නේ. සමහරු අතේ තිබ්බ සලිල්වලින් ටිකට් එක දාගෙන දැන් කිසිම දෙයක් නැතුව දුක් විඳිනවා. මේ හැම ප්‍රශ්නයක් පිළිබඳවම මහ කොමසාරිස් කාර්යාලය දැනුවත් කර තිබුණත් මේ වන තෙක් රජය මගින් අපි ගැන කිසිදු ක්‍රියාමාර්ගයක් අරගෙන නැහැ මේ පිළිබඳව දේශපාලනඥයින් ද විවිධ අදහස් පළ කළේය.
ජාතික ජන බලවේගයේ අපේක්ෂක සුනිල් හඳුන්නෙත්ති මහතා
සීෂෙල්ස් දූපත් ආණ්ඩුවට වැදගත් වුණේ ඇයි. ඒක ආණ්ඩුව දැන් පැහැදිලි කරන්න ඕනේ. මොකද පහුගිය කාලේ සීෂෙල්ස් දූපත් දේශපාලන මාතෘකාවක් වුණා. ලංකාවේ තානාපති සේවාත් ආරම්භ කරන්න ගියා. ලංකා බැංකු ශාඛාවක් ආරම්භ කරන්නත් ගියා. මොකද චෝදනාවක් තියනවා දිගින් දිගටම ලංකාවේ ඇතැම් දේශපාලනඥයන්ගේ කලු සල්ලි සඟවා තබන, ආයෝජනය කරන තැනක් හැටිනට මේ දූපත්. ඒ අය ගෙනාවේ මොන හේතුවකට ද? ගේන්න ඉල්ලුම් කළේ කවු ද? අනුමැතිය දුන්නේ කවු ද ? කියන එක ශ්‍රී ලංකිකයින් හැටියට අපටත්, විදේශගතවෙලා ඉන්න අපේ රටේ අයටත් දැනගන්න අවශ්‍යයි ආණ්ඩුවයි මේ අයයි අතර තියන ගනුදෙනුව මොකද්ද කියලා.

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා

මං අහන්න කැමතියි රජයෙන් ඔබලාගේ ප්‍රධානතම වගකීම රටේ ජනතාව සුරැකීම නොවේ ද? ඔබලට පෙනෙන්නේ නැද්ද කුවේට් ඇතුළු මැද පෙරදිග රටවල් රාශියක අග හිඟතාවයෙන් ජීවත් වෙන අපේ රටේ ජනතාව? සීෂෙල්ස් රටේ පුරවැසින්යට ප්‍රමුඛතාවය ලබාදීමේ විශේෂත්වය මොකද් ද? මොකද්ද මේ අබි රහස? මේ අවසරය පිටුපස කූඨ කුමන්ත්‍රණයක් තිබෙනව ද? ඡන්දෙන් පස්සේ රට විරුවන් අමතක වෙලානේද? කරුණාකරලා මේ දෙබිඩි ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නට එපා. අපේ රටේ පුරවැසියන්ට අපේ රටේ ජනතාවට ප්‍රමුඛත්වය ලබා දෙන්න.
හිටපු රාජ්‍ය ආමාත්‍ය දිලුම් අමුණුගම,
පිටරට අපේ ඉන්න ශ්‍රමිකයන්ට ඒ අය නොසලකා අපි හැරලා නැහැ. දැන් ක්‍රමක් ක්‍රමයෙන් මේ අය ගෙන්වා ගැනීමේ කටයුතු ආරම්භ කරලා තිබෙනවා. සිෂෙල්ස්වල නෙමෙයි කොහේ හරි ඉඳලා අපි රැගෙන එනවා නම් ඒකට සාධාරණ හේතු ‍තිබෙනවා. නමුත් සිෂෙල්ස්, මාලදිවයිනද, ඕස්ටේලියාවද, එංගලන්තයද කියන එක නෙමෙයි අපේ කණ්ඩායම් ඉන්නවනම් අපි ගෙන්වාගත යුතු ඒ අය ගෙන්වා ගැනීම සඳහා අපි කටයුතු කරනවා. ඉතිං කොහෙන් හරි කවුරු හරි ආවපුවහම එයාලගේ සල්ලි එහේ තියෙනවා මෙහේ තියෙනවා මේවා මේ විහිලු කතා ඉතිං මං ප්‍රචාර යුද්දේ කාලෙත් කෙරුවා. පහුගිය කාලෙත් කෙරුවා. සුදුවෑන් කියලත් කෙරුවා. දැනුත් ඉතිං මේවා කරගෙන යනවා. හැබැයි එක දෙයක්නම් මම කියන්න ඕනේ රජය හැටියට මේ දෙන අසත්‍ය ප්‍රචාර පිළිබඳව ක්‍රියාත්මක වෙනවා අපේ රජය බොහොම දුර්වලයි. ඒක මම බොහොම පැහැදිලිව කියන්න ඕන. බොරු චෝදනා දිගින් දිගටම එල්ල කරනවා නම් මේ පිළිබඳව පරීක්ෂණ කරන්න ඕනේ. ඉතිං කවුරුහරි කියනව නම් සිෂෙල්ස්වලින් ප්‍රතිකාර කරන්න ආවා. සල්ලි අරගෙන ආවා මේවා කවුරු හරි කියනවනම් කවුරු හරි කණ්ඩයමක් ගිහිල්ලා මේගොල්ලන්ගෙන් ප්‍රශ්න කරලා ඒ අයගෙන් හොයාගන්න ඕනේ. සල්ලි කීයක් අරං ආව ද ? කාගේ ඥාතියෝ ද? කාගේ හිතවත්තු ද? ඒ පිළිබඳව අපේ දුර්වලකමක් තිබෙනවා. ඒ නිසා මං හිතන්නේ රජයක් හැටියට ඒක අපි නිවැරදි කරගන්න ඕන.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, විදේශයන්හි රැඳී සිටින පිරිස් යළි සිය රටට ගෙන්වා ගැනීම සඳහා සීෂෙල්ස් ජනාධිපති ඩැනී ෆවුර් මහතා විසින් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බවය. ඒ, යටතේ සීෂෙල්ස් ජාතිකයින් 35 ක් අරගන ආ ගුවන් යානයෙන් මෙරට රැඳී සිටි සීෂෙල්ස් ජාතිකයින් 17 දෙනෙක් යළි ආපසු අරගෙන ගොස් තිබේ. https://www.facebook.com/NewsfirstSL/videos/627546247973262/