හැමෝම කතා කරන කවසාකි රෝගය ගැන හරියටම දැනගන්න..

හැමෝම කතා කරන කවසාකි රෝගය ගැන හරියටම දැනගන්න..

by Staff writer 24-05-2020 | 10:05 PM

COLOMBO (News 1st) –  කොරෝනා වෛරස ව්‍යාප්තියත් සමග කුඩා දරුවන් අතර පැතිරිය හැකි කවසාකි නමැති රෝගයක් පිළිබඳවත් මේ දිනවල අසන්නට ලැබේ.

මේ පිළිබඳව අපි සොයා බැලුවෙමු. ප්‍රශ්නය - වෛද්‍යතුමනි ඇත්තටම මොකද්ද? මේ කවසාකි කියන්නේ. පිළිතුර - රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා
කවසාකි කියන්නේ ස්වයං ප්‍රතිශක්තිකරණ රෝගයක්. මේ රෝගය 1967 දී කවසාකි කියන වෛද්‍යවරයා ජපානයේදී තමයි මේ රෝගය මුලින්ම වාර්තා කළේ. ඊට පස්සේ අපේ රටේත් පහුගිය අවුරුදු 20 දීම කවසාකි රෝගීන් ඇතුළත් කරලා ප්‍රතිකාර කරලා තියෙනවා. ඉතින් මේ දවස්වල තියෙන ප්‍රශ්නය තමයි කොරෝනා රෝගයට පස්සේ අමෙරිකාව ඉතාලිය චීනය කවසාකි රෝග ලක්ෂණ තියෙන දරුවන්ගේ වැඩිවීමක් තියෙනවා.
ප්‍රශ්නය -
වෛද්‍යතුමනී ලංකාවේ මේ දවස්වල කවසාකි රෝග ලක්ෂණ තියෙන දරුවන් හමුවෙලා තියෙනවාද? මොකද්ද? මේකේ තත්ත්වේ?
පිළිතුර - රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා
කවසාකි රෝගය හැමදාම වාර්තා වෙනවා. අවුරුද්දකට 50 ක් 60 ක් විතර සාමාන්‍යයෙන් වාර්තා වෙනවා. මේ දවස්වලත් එක්කෙනෙක් දෙන්නෙක් වාර්තා වෙනවා. හැබැයි අපි කොරෝනා ටෙස් කරාම ඒගොල්ලන්ගේ කොරෝනා නෙගටිව්.
ප්‍රශ්නය -
අපේ රටේ කුඩා දූදරුවෝ ඉන්න දෙමාපියෝ ඇත්තටම මේ රෝගී තත්ත්වය සම්බන්ධයෙන් බියවිය යුතුද? මොනවාගේ රෝග ලක්ෂණද මේ කවසාකි රෝගයේ තියෙන්නේ.
පිළිතුර රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා
සාමාන්‍යයෙන් අවුරුදු 5ට අඩු දරුවන්ට තමයි මේ රෝගය ඇති වෙන්නේ. උණ සාමාන්‍යයෙන් දවස් 5 ක් විතර පවතිනවා. 5 ට වැඩිය පවතිනවා.උණට පැරසිටමෝල් දුන්නාට උණ අඩුවෙන්නේ නැති තත්ත්වයක් පවතිනවා . දැන් ඊට අමතරව ඇස් රතු වෙනවා. ඇස්වල හැබැයි කඹ ගලන්නේ නෑ. තොල් රතු වෙනවා. දිව රතු වෙනවා. දිව ස්ට්‍රෝබරි ගෙඩියක් වාගේ වෙනවා. ඊට අමතරව බෙල්ලේ වසා ගැටිති ලොකුවීමක් සිදුවෙනවා. ඇග පුරාම පලු දාලා රතු ලප ඇති වෙන්න පුලුවන්. විශේෂයෙන්ම අත්ලේ සහ පත්ලේ.
ප්‍රශ්නය -
සාමාන්‍ය රෝහලකදී කවසාකි වෙනුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමේ පහසුකම තියෙනවාද? නැත්නම් ඒ සඳහාම වෙන්වූ රෝහල් තියෙනවාද?
පිළිතුර - රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා
මේකට විශේෂ ප්‍රතිකාර ලබාදිය යුතුයි අපි රෝගය අඳුරගත්තාට පස්සේ. ඉතින් සාමාන්‍යයෙන් ළමා රෝග විශේෂඥ වෛද්‍යවරු ඉන්න ශික්ෂණ රෝහලකට වාගේ ගියොත් වැඩිය හොදයි
ප්‍රශ්නය -
මේ රෝගී තත්ත්වය පිළිබද වැඩි අවධානමක් ශ්‍රී ලංකාවේ කුඩා දූ පුතුන්ට තියෙනවාද? අපි ඒ ගැනත් කතා කරමු.
පිළිතුර රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා
සාමාන්‍යයෙන් මේ රෝගය ආසියාවට වැඩිපුර බලපාන රෝගයක්. කල්පනාකාරී විය යුතුයි මේ රෝග ලක්ෂණ තියෙනවා නම් දරුවෙක්ට විශේෂයෙන් අවුරුදු 5 ට අඩු දරුවන්ට ඒ වුනාට මේ දවස්වල අවුරුදු 5,10 , 15 අතර දරුවන්ට වුණත් මේක ඇති වෙන්න පුළුවන්. මං හිතන්නේ වෛද්‍යවරයෙකුට වාර්තා කළොත් මේ රෝගය අදුනා ගත්තොත් ඉක්මණටම ප්‍රතිකාර කරලා ඉක්මණටම මේ දරුවන්ට සුව කරන්නත් පුලුවන්. අතුරු ආබාධ ඇතිවෙන තත්ත්වයන් අඩු කරන්නත් පුළුවන්.