රටවල් 18 කින් ශ්‍රී ලාංකිකයින් 5000 ක් දිවයිනට

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් රැගෙන ඒමට ජූනි 6 දක්වා ගුවන් යානා සූදානම් - විදේශ සබඳතා අමාත්‍යාංශය

by Staff writer 24-05-2020 | 1:54 PM

COLOMBO (News 1st) - විදේශ විශ්වවිද්‍යාලයන්හි උසස් අධ්‍යාපනය ලබන මෙරට සිසුන් 3000 කට ආසන්න පිරිසක් දිවයිනට ගෙන්වා ගෙන ඇතැයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අමාත්‍යවරයා පැවසුවේ, ඉතිරි සිසුන් පිරිස ද කඩිනමින් දිවයිනට ගෙන්වා ගැනීමට කටයුතු කරමින් සිටින බවය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පෙරවරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය. විදෙස්ගතව සිටින පුද්ගලයින් මෙරටට රැගෙන ඒම සඳහා ජූනි 06 වැනි දා දක්වා ගුවන් යානා සූදානම් කර ඇති බව විදේශ සබඳතා අමාත්‍යාංශය පවසයි. එහි අධ්‍යක්ෂ ජනරාල් කාන්දීපන් බාලසුබ්‍රමනියන් මහතා පැවසුවේ, මේ වනවිට රටවල් 18 ක සිටි ශ්‍රී ලාංකිකයින් 5000 කට ආසන්න පිරිසක් මෙරටට ගෙන්වා ගෙන ඇති බවය. මේ අතර පසුගිය අප්‍රේල් 21 වැනි දා සිට අද දිනය දක්වා විදෙස්ගතව සිටි ශ්‍රී ලාංකිකයින් 4456 දෙනෙකු මේ වනවිට දිවයිනට රැගෙන විත් ඇති බව ද යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ ය.