කොළඹ, ගම්පහ හැර අන්තර් පළාත් බස් සේවාව අනිද්දා සිට

කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්ක හැර අන්තර් පළාත් බස් සේවාව අනිද්දා සිට ඇරඹේ

by Staff writer 24-05-2020 | 12:42 PM

COLOMBO (News 1st) - කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්ක හැර අන්තර් පළාත් බස් සේවා අනිද්දා (26) සිට ආරම්භ කිරීමට පියවර ගන්නා බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව බස් රථ සේවා ආරම්භ කරන ලෙස ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ලංකා ගමනාගමන මණ්ඩලයට උපදෙස් දුන් බව නිවේනදනයක් නිකුත් කරමින් මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය සඳහන් කළේය. මෙම බස් රථ සේවා ආරම්භ කරනුයේ සෞඛ්‍ය අංශ විසින් රජයට දී ඇති උපදෙස් අනුව බව එම නිවේදනයේ දැක්වේ. ප්‍රවාහනය සම්බන්ධයෙන් අද(24) පෙරවරුවේ ජාතික ගමනාගමන කොමිසමේ දී සාකච්ඡාවක් පැවැති අතර එහිදී ගත් තීරණ පහත දැක්වේ. · මාර්ග 5ක් ඔස්සේ කොළඹට පැමිණෙන බස් රථ කොළඹ දක්වා ධාවනය නොකෙරේ. · නුවර පාරේ පැමිණෙන අන්තර් පළාත් බස් රථ ධාවනය කෙරෙනුයේ නිට්ටඹුව දක්වා පමණි. · කොළඹ 05 පාරේ පැමිණෙන අන්තර් පළාත් බස් රථ මිනුවන්ගොඩ දක්වා පමණක් ධාවනය කෙරේ. · ගාලු පාරේ පැමිණෙන අන්තර් පළාත් බස් රථ පානදුර තෙක් පමණි. · අවිස්සාවේල්ල හරහා කොළඹට හයිලෙවල් හා ලෝ-ලෙවල් පාරේ ගමන් කරන අන්තර් පළාත් බස් රථ අවිස්සාවේල්ලෙන් නතර කළ යුතුය. · අනුරාධපුර - පුත්තලම හා කුලියාපිටිය සිට මීගමුව පාරෙන් කොළඹට එන අන්තර් පළාත් බස් රථ මීගමුවෙන් නතර කළ යුතුය. · දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිට පැමිණෙන බස් රථ කොට්ටාව දක්වා පමණි. · බස් රථ ධාවනය පෙරවරු 4.30ට ආරම්භ කෙරෙන අතර අවසන් වේලාව පස්වරු 6.00 වේ. මෙම බස් රථවලින් ගාස්තු අය කළ යුත්තේ එම බස් රථ නවත්වන ස්ථානය දක්වා පමණක් බව ද මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය පවසයි. එම බස් රථවල ගමනාන්තය ලෙස පැහැදිලිවම ඉදිරි පස වීදුරුවේ බස් රථය නවත්වන අවසාන ස්ථානය සඳහන් කළ යුතුයි. එමෙන්ම සෞඛ්‍ය අංශ විසින් දී ඇති උපදෙස් අනුව මුව ආවරණ සෑම මගියෙක් විසින් පැළඳිය යුතු අතර බස් රථ තුළ මහජන සෞඛ්‍ය ආරක්ෂණ පහසුකම් පවත්වා ගත යුතු බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය සඳහන් ක‍ළේය. එමෙන්ම බස් රථවල දැනට බලපත්‍ර වලංගු කාල සීමාව ජාතික ගමනාගමන කොමිසම විසින් ජූනි 30 දක්වා දීර්ඝ කිරීමට තීරණය කරනු ලැබ තිබේ. ලංගම බස් රථ ද මීට සමගාමීව සේවාවන් පවත්වාගෙන යන අතර, මින් පෙර ක්‍රියාත්මක කළ ආකාරයටම බස් රථ ධාවනය කිරීමට පියවර ගන්නා බව ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයා පවසයි. කෙසේ වුවද මෙම තත්ත්වයන් සෞඛ්‍ය අංශ විසින් රජයට ලබා දෙන ලද උපදෙස් අනුව ගන්නා ලද තීරණ වන අතර ඇඳිරි නීතිය ලිහිල් වීම අනුව හා ඊට සමගාමීව රජය විසින් දෙනු ලබන නියෝග අනුව පොදු ප්‍රවාහන සේවාවන් පවත්වාගෙන යාමට පියවර ගන්නා ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා වැඩිදුරටත් උපදෙස් දුන් බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ. අන්තර් පළාත් බස් සේවා මැයි මස 26 දින සිට ආරම්භ කිරීමට පියවර.