ආර්ථික අර්බුදය ගැන අගමැතිගෙන් පැහැදිලි කිරීමක්..

ආර්ථික අර්බුදය ගැන අගමැතිගෙන් පැහැදිලි කිරීමක්..

by Staff writer 24-05-2020 | 8:57 PM

COLOMBO (News 1st) – COVID-19 නිසා සියලුම ශ්‍රී ලාංකිකයින්ට අද ඉතිරි වී ඇත්තේ එක විකල්පයක් පමණක් බවත් එය ශ්‍රී ලංකාව ගොඩනැගීම බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

'යහපාලනයෙන් පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් හා COVID-19 වසංගතයෙන් පසු ලංකාව' යන තේමාව යටතේ අග්‍රාමාත්‍යවරයා නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන් වේ. 2019 නොවැම්බර් 16 වැනිදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලැබුණේ සහමුලින්ම විනාශ වූ ආර්ථිකයක් බවත්, COVID-19 වසංගතය ලෝකයම ගිල ගත්තේ එවන් තත්ත්වයක් යටතේ බවත් මෙම නිවේදනයේ දැක්වේ. අග්‍රාමාත්‍යවරයා පවසන්නේ COVID-19 වසංගතයෙන් පසු 1930 ගණන්වල ඇති වූ මහා අවපාතයට සමාන ලෝක ආර්ථික අවපාතයක් ඇති වනු ඇති බවට පුරෝකථනය වී ඇති බව ය. එවන් තත්ත්වයක් යටතේ සියලුම රටවල් ආර්ථික දුෂ්කරතා හා මහාපරිමාණ විරැකියාවට පාත්‍රවන නිසා ශ්‍රී ලාංකිකයන්ට සෞභාග්‍යය සොයා විදේශගතවීමට ඇති අවස්ථාව ද සීමාවනු ඇතැයි නිවේදනයේ සඳහන් වේ. විපතෙන් ගොඩඒමට එකාවන්ව කටයුතු නොකරන්නේ නම් අනාගතය අතිශයින්ම අඳුරු වනු ඇති බවද අග්‍රාමාත්‍යවරයා පවසා තිබේ. මෑතකදී රාජ්‍ය සේවයේ ඉහළම නිලධාරියා වන ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහතා වැටුපෙන් හැකි ප්‍රමාණයක් පරිත්‍යාග කරන ලෙස රජයේ සේවකයන්ගෙන් ඉල්ලීමක් කළ විට විපක්ෂය නිර්දය ලෙස ඔහු විවේචනය කළ බවද මෙහි සඳහන් වේ. දක්ෂ නිලධාරීන් තනි කර පහරදී, ආණ්ඩුවේ ආර්ථික පුනර්ජීවන වැඩපිළිවෙළ අඩාල කිරීම විපක්ෂයේ අරමුණ යැයි පැහැදිලි වන බවද අග්‍රාමාත්‍යවරයා පවසා තිබේ. රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මඩගැසීම හා බොරු ප්‍රචාර මත පදනම් වූ යහපාලන දේශපාලන සංස්කෘතියට පශ්චාත් COVID-19 ලෝකය තුළ කිසිඳු තැනක් නැති බව ය. අසීරු ගෝලීය තත්ත්වයන් යටතේ ශ්‍රී ලංකාවේ ආර්ථික පැවැත්ම හා දරුවන්ගේ අනාගතය රඳා පවතින්නේ රට පාලනය කරන අයගේ දෘෂ්ටිය හා හැකියාව මත බවද මෙම නිවේදනයේ දැක් වේ. අග්‍රාමාත්‍යවරයා සිහිපත් කර ඇත්තේ COVID-19 වසංගතය ලංකාවට එනවිට බලයේ සිටියේ යහපාලන කල්ලිය නම් රටට යන කලදසාව ගැන අමුතුවෙන් කිව යුතු නොමැති බවයි. ජනාධිපතිතුමාගේ සිට පහළට සිටින සියලු දෙනා ජයග්‍රහණය කිරීමට නොහැකි යැයි කියූ යුද්ධයක් දිනූ 2006 - 2014 අතර දැවැන්ත අභියෝග මධ්‍යයේ වුවත් නිදහසින් පසු විශාලම ආර්ථික පිබිදීම ඇති කළ කණ්ඩායම බවද නිවේදනයේ සඳහන් වේ. COVID-19 වසංගතයෙන් පසු ලෝකය තුළ ශ්‍රී ලංකාව ඉදිරියට ගෙන යෑම සඳහා අවශ්‍ය වන්නේ එවැනි නායකත්වයක් බව ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක් වේ.