කරච්චි ගුවන් අනතුරින් මිය ගිය ගණන 92ක්

කරච්චි ගුවන් අනතුරින් මිය ගිය ගණන 92ක්

by Staff writer 23-05-2020 | 9:13 AM
COLOMBO (News 1st) : පකිස්ථානයේ කරච්චි නුවර සිදුවු ගුවන් අනතුරින් පුද්ගලයන් 92 කු මියගොස් තිබේ. පකිස්ථාන ජාත්‍යන්තර ගුවන් සේවයට අයත් එම යානය කරච්චි නුවර ජනාකීර්ණ ප්‍රදේශයකට කඩාවැටෙන විට එහි සිටි පුද්ගලයන් සංඛ්‍යාව 99 කි. ලාහෝර් සිට පියාසර කළ එයාර්බස් වර්ගයේ යානය, කරච්චි හි ජින්නා ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ගොඩබැස්වීමට මිනිත්තුවක කාලයක් ඉතිරිව තිබියදී කඩාවැටිණ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, කඩාවැටීමට මොහොතකට පෙර , යානයේ එන්ජින් දෙකෙහිම බලය නැතිවූ බව පවසමින් නියමුවා ගුවන් පාලක මෙහෙයුම් මැදිරිය වෙත පණිවිඩයක් නිකුත්ක කළ බවයි . අනතුරින් දිවි ගලවා ගත් අය අතරට පන්ජාබ් බැංකුවේ සභාපතිවරයා සහ ඉංජිනේරුවරයකු ද අයත් වේ. යානය ගොඩබැස්වීමට නියමුවා ගත් දෙවන ප්‍රයත්නයේදී , එය පුපුරා ගිය බව දිවිගලවා ගත් පුද්ගලයන් සඳහන් කළේ ය. කිසිඳු බාධාවකින් තොරව පියාසර කළ බැවින් යානය කඩාවැටෙනු ඇතැයි, කිසිවකු අපේක්ෂා නොකළ බව ද දිවිගලවා ගත් පුද්ගලයන් වැඩිදුරටත් පවසා ඇත. යානය ජනාකීර්ණ ප්‍රදේශයකට කඩාවැටීම හේතුවෙන් නිවාස කිහිපයක් සම්පූර්ණයෙන්ම විනාශ වූ අතර ඉන් ප්‍රදේශවාසීන් 25 දෙනෙකු තුවාල ලබූ බව සඳහන් ය. අනතුර හමුවේ කරච්චි නුවර සියලු රෝහල් වෙත හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීමට සින්ද් පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා පියවර ගත්තේ ය. 2010 , 2012 සහ 2016 යන වසරවලදී පකිස්ථානයේ සිදුවු ගුවන් අනතුරුවලින් පුද්ගලයින් තුන්සිය ගණනක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

වෙනත් ලිපි