by Staff writer 22-05-2020 | 8:08 PM
COLOMBO ( News 1st ) – 1972 මැයි 22 වැනිදින ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත් වූයේ, බ්‍රිතාන්‍ය යටත් විජිතයෙන් පූර්ණ නිදහස දිනා ගනිමිනි.
එතෙක් ශ්‍රී ලංකාවට හිමිව තිබුණේ ඩොමීනියන් තත්ත්වයක් හෙවත් අර්ධ නිදහසක් වූ අතර රාජ්‍ය නායිකාව ලෙස පිළිගනු ලැබුවේ එංගලන්ත මහ රැජිණයි.
රැජිණගේ නියෝජිතයා වශයෙන් අග්‍රාණ්ඩුකාරවරයෙක් කටයුතු කළ අතර, මෙරට බාහිර ස්වාධිපත්‍යය ඇතුළු යුක්තිය පසිඳලීමේ අවසාන බලය හිමිවුණේ මහා බ්‍රිතාන්‍යය කිරීටයටයි.
1970 බලයට පැමිණි සිරිමාවෝ බණ්ඩාරණායක මැතිනියගේ සමගි පෙරමුණු ආණ්ඩුව යටතේ ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත් කිරීමට කටයුතු කෙරිණ.
මෙහිදී වාමාංශික පක්ෂවල මන්ත්‍රීවරු විශාල කාර්යයක් සිදු කළේ ය.
ලංකා සමසමාජ පක්ෂයේ ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා මහතා ප්‍රථම ජනරජ ව්‍යවස්ථාවේ මූලික නිර්මාතෘවරයා විය.
පාර්ලිමේන්තුව තුළ රැස් වී අලුත් ව්‍යවස්ථාවක් සම්මත කරගැනීමේ දී වූ අපහසුතා හේතුවෙන් එවක සිටි මන්ත්‍රීවරු රාජකීය විද්‍යාලයේ නව රඟහලේදී රැස් වු බව ද සඳහන් වේ.
ජනරජ ව්‍යවස්ථාව එලෙස සම්මත කර ගැනුණේ එම රැස්වීම ව්‍යවස්ථාදායක සභාවක් ලෙස කටයුතු කරමිනි.