හෝමාගම ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඇත්ත කතාව

යෝජනාවූ හෝමාගම ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඇත්ත කතාව

by Staff writer 22-05-2020 | 8:02 PM

COLOMBO (News 1st) – හෝමාගම දියගම ඉදිකිරීමට යෝජිත වූ ආන්දෝලනාත්මක ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය පිළිබඳ වු සාකච්ජාවක් ඊයේ අරලිය ගහ මන්දිරයේදී පැවැත්වුණි.

අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවට වත්මන් ක්‍රීඩා අමාත්‍යවරයා සහ හිටපු අමාත්‍යවරුන් මෙන්ම ක්‍රිකට් බලධාරීන්, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ නායකයෝද එක්ව සිටිය හ. හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක සනත් ජයසූරිය
පාසැල් ක්‍රිකට් ක්‍රීඩාවෙන් තමයි අපි ඇත්තටම අද මේ තත්ත්වෙට ඇවිල්ලා තියෙන්නේ. අපි කවුරුත් ආවේ නෑ වෙන තැන්වලින් පාසැල් ක්‍රිකට් ක්‍රීඩාව අපි පොඩිකාලේ දැකපු ඒ ක්‍රීඩාව අද සෑහෙන්න පල්ලෙහා තත්වයකට ගිහිල්ලා තිබෙනවා. තණතිලි නැති ප්‍රශ්නේ ඉස්කෝලවලට ගොඩක් තියෙනවා. මම හිතනවා ඒක ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. අපි මාතර ඉඳලා කොළඹ ඇවිල්ලා මැච් එකක් ගහන්නේ මැටින් එකේ ප්‍රක්ටිස් කරලා ටර්ෆ විකට් එකේ ඇවිල්ලා ගහන්න ඕනේ. ඉතින් අපේ ළමයි දන්නේ නෑ කොහොමද ගහන්නේ
හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක මහේල ජයවර්ධන
අපේ පාසැල් ක්‍රිකට් අපි ගත්තොත් මධ්‍යම පළාතේ පාසැල් 50 ක් තියෙනවා. ක්‍රිකට් සෙල්ලම් කරන ඒ ගොල්ලන්ට තියෙන්නේ තණතිලි එක්ක හතරයි ග්‍රවුඩ්. බස්නාහිර පළාත ගත්තොත් පාසැල් 169 ක් තියෙනවා. ඒකෙන් තණතිලි එක්ක තියෙන්නේ පාසැල් 18 යි. සමහර ඉස්කෝලවලට තියෙනවා ග්‍රවුන්ඩ් තියෙනවා හැඩැයි මැටින් විකට්වල ඒගොල්ලෝ සෙල්ලම් කරන්නේ. ටර්ෆ් නෑ ඒ ගොල්ලන්ට. උතුරු පළාත ගත්තොත් පාසැල් 26ක් සෙල්ලම් කනවා. එක තණතීරුවයි. සබරගමු පළාත ගත්තොත් එකම තණතීරුවක් එක්කවත් ග්‍රවුන්ඩ් එකක් නෑ සබරගමු පළාතට. වයඹ පළාත ගත්තොත් සෑහෙන ක්‍රීඩකයෝ බිහිකරලා තියෙන පළාතක් පාසැල් 41 ක් තියෙනවා තණතීරු 3 යි තියෙන්නේ. දකුණු පළාත ගත්තොත් පැසැල් 50 ක් තියෙනවා. තණතීරු 2 යි තියෙන්නේ. පළමු පෙළ ක්‍රීඩා සමාජ තරගාවලියේ කණ්ඩායම් දෙකයි අපේ ජාත්‍යන්තර ග්‍රවුන්ඩ්වල සෙල්ලම් කරන්නේ. ඒ ළමයින්ට අද්දැකීම් නෑ ජාත්‍යන්තර තණතිලිවල සෙල්ලම් කරලා. සූරියවැව, පල්ලේකැලේ, දඹුල්ල, කෙත්තාරාම ඒ එකකවත් අපි පළමු පෙළ තරග සෙල්ලම් කරන්නේ නැහැ. ඉතින් අපේ ක්‍රිකට් ක්‍රීඩාවේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. පොඩ්ඩක් හිතන්න ඕනේ අපි කොහෙටද අපි මුදල් යොදවන්නේ කියන එක. අපිට ක්‍රීඩකයෝ වැඩියෙන්ම ඇවිල්ලා තියෙන්නේ පාසැල් ක්‍රිකට්වලින්. ඉතින් අපි මේ අවුරුදු 15ටම 20 ටම අපි පාසැල් ක්‍රිකට් ගැන කිසිම අවධානයක් යොමු කරලා නෑ. අනික අන්තිම අවුරුදු 15 ගත්තොත් වැඩිපුරම අපිට ජාත්‍යන්තරයට ක්‍රිකට් ක්‍රීඩකයෝ බිහිවෙලා තියෙන්නේ පිට පළාත්වලින්. කොළඹින් නෙවෙයි. ඉතින් අපි තාම ඒවා පිට පළාත්වලට ඒ අවශ්‍ය කරන පහසුකම් අපි දීලා නෑ.
හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර
පාසල් ක්‍රිකට් ක්‍රීඩාව හා අපේ ක්‍රීඩා සමාජවල මේ තරගාවලි අපි මීට වඩා ශක්තිමත් කරේ නැත්නම් ඔවුන්ට අවශ්‍ය පහසුකම්, ඒ අවශ්‍ය තණතීරු, ඒ අවශ්‍ය අත්දැකීම් අපි ලබාදුන්නේ නැත්නම් අපිට කවදාවත් ශක්තිමත් ජාතික කණ්ඩායමක් බිහි කරන්න අමාරුයි. එතකොට කෙත්තාරාමේ ගත්තොත් විශේෂයෙන් එතෙන තමයි අපේ ක්‍රිකට් ඇකඩමිය තියෙන්නේ. ජාත්‍යන්තර කණ්ඩායම පුහුණු වෙන්නේ. අපේ ජිම් එක තියෙන් එතැන. නමුත් ස්විමිං පූල් එකක් නෑ. ඒ වගේම ගෘහස්ථ පුහුණුවීම් කරන්න වහින කාලේ පහසුකම් නෑ. පල්ලේකැලේ ගත්තාමත් එහෙමයි. ගාල්ල ගත්තාමත් එහෙමයි.
හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක රොෂාන් මහානාම
කෙත්තාරාමේ මීට ප්‍රථම හරි ඊටත් ප්‍රථම හරි හිටපු කට්ටිය ස්විමං පූල් එකක් හරි ඩෝමැට්‍රියක්හරි හදන්න පටන් අරන් තියෙනවා. ඒක නවත්තලා වෙනිං එකක් පටන් ගන්නවා. ඉතිං ඒක නැෂනල් ප්ලෑන් එකක් තිබ්බා නම් මම හිතන්නේ නෑ එවැනි දෙයක් වෙයි කියන එක.
මෙරට දේශපාලඥයින්ට සහ ක්‍රිකට් බලධාරීන්ට අවශ්‍යව තිබුණේ හෝමාගම දියගම විශාලතම ක්‍රීඩාංගණය ඉදිවනු දැකීම පමණි. මුල සිටම මෙහි අනාගත අවධානම වෙනුවෙන් පෙනී සිටි හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන සහ ඒ වෙනුවෙන් වැදගත් කරුණු රැසක් ඉදිරිපත් කළ සනත් ජයසූරිය, කුමාර් සංගක්කාර, රොෂාන් මහානම වැනි ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් නායකයින් අගය කළ යුතු ය. රටට අවශය වන්නේ ද එවැනි නායකයින් යන්න මෙරට ක්‍රීඩාලෝලීන්ගේ විශ්වාසයයි. මෙරට පාසැල් ක්‍රිකට් ක්‍රීඩාවේ වර්තමාන තත්ත්වය මෙන්ම ප්‍රමුඛ පෙළ තරග මුහුණදී ඇති අමිහිරි තත්ත්වය පිළිබඳවද සියලු දත්ත වාර්තා සමගින් ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන පල කළ අදහස් පිළිබඳව මෙරට ක්‍රිකට් බලධාරීන් සිතට ගත යුතුයි. වත්මන් ක්‍රිකට් පරිපාලකයින් දැනගත යුතු කරුණ වන්නේ, ඔවුන් ලෝක ක්‍රිකට් විශාරදයින් නොවන බවයි. මෙරටට ක්‍රිකට් ක්‍රීඩාව රැගෙන ඒම සඳහා ඇපකැප වී වැඩ කළ බොහෝ පිරිසක් සිටින බව ද වත්මන් ක්‍රිකට් බලධාරීන්ට අප මතක් කර දිය යුතුයි. මහේල ජයවර්ධන මෙරට පාලකයින්ට මෙන්ම ක්‍රිකට් බලධාරීන්ට මෙම ක්‍රීඩාංගණය ඉදිකිරීමේ අනාගත අවදානම පිළිබඳ කරුණු පැහැදිලි කළේ මෙලෙසින් ය. හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක මහේල ජයවර්ධන
ඩොලර් මිලියන 40 ක ණයක් ගත්තා කියන්නේ අපි 100% ක හතරක පොළියක් ගෙවන්න ඕනේ. එතකොට ඒ පොළියයි වාරිකයයි ගත්තොත් මිලියන 3 යි දශම 5 ක්. ඒ් කියන්නේ අපි අවුරුදු 10 ක් හෝ 15 අපි ඒක ගෙවන්න ඕනේ. මොකද ක්‍රිකට් ක්‍රීඩාව කියන්නේ කණ්ඩායම කියන්නේ බ්‍රෑන්ඩ් එකක් දැන් නෑ. ඒ බ්‍රෑන්ඩ් නැතිවුණහම වෙන්නනේ ටී.වී රයිට්ස්වලින් හම්බවෙන මුදලත් අඩු වෙනවා. ඉදිරි අනාගතයේදී. එතකොට ආදායම ඔය කියුවට එහෙම ආදායමක් හම්බ වෙන්නේ නෑ. දැන් අයි.සී.සී එකේ මම දැක්කා ඊයේ ඒගොල්ලෝ පේ කට්ස්වලට යනවා කියලා. ඉතින් මම හිතන්නේ නෑ හිතන විදිහට ආදායම් අපිට ඉදිරි අවුරුදු 5 තුළ ලැබෙයි කියලා. එහෙම අපි හිතලා අපි සැලැස්මවල් හැදුවොත් මම හිතන්නේ අපි ලොකු කරදරයකට වැටෙනවා.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ
ඇමතිතුමා මුල් වෙලා ක්‍රිකට් බෝඩ් එකයි, බ්‍රදර්ස්ලයි, පරණ ක්‍රිකටර්ස්ලයි, ගන්න විශේෂඥයෝ ටිකයි එකතු කරගෙන වැඩ පිළිවෙළක් සකස් කරලා අපිට මාසයක් ඇතුළත ඉදිරිපත් කරාම අපි ඒ අනුව වැඩපිළිවෙළක් දියත් කරමු ඉස්සරහට කොහොමද ක්‍රිකට් ක්‍රීඩාව මීට වඩා ඉස්සරහට නග්ගන්නේ හා ජනතාව අතරට තවත් ප්‍රචලිත කරන්නේ දරුවන් අතර. ඉතිං මං හිතනවා මහේලගේ යෝජනා ටිකත් අරගෙන සාකච්ඡා කරලා යම් වැඩපිළිවෙළක් හදලා ක්‍රියාත්මක කරන්න සූදානම් වෙන්න කියන ඉල්ලීම තමයි කරන්න.