අම්ෆන් ඉන්දියාවේ සහ බංග්ලාදේශයේ ජීවිත් බිලි ගනී

අම්ෆන් ඉන්දියාවේ සහ බංග්ලාදේශයේ ජීවිත් බිලි ගනී

by Staff writer 22-05-2020 | 11:08 AM
COLOMBO (News 1st) : අම්ෆන් සුලිකුණාටුවේ බලපෑමෙන් ඉන්දියාවේ සහ බංග්ලාදේශයේ ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයන් සංඛ්‍යාව 99 ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, එරට බටහිර බෙංගාල ප්‍රාන්තයේන් පුද්ගල මරණ 76 ක් වාර්තා වන අතර ඉන් 15 ක් වාර්තා වන්නේ කොල්කටා නගරයෙන් බවයි. මෙවන් ආකාරයේ ප්‍රබල විනාශයක් සිදුකළ ස්වභාවික විපතක් කිසිදින දැක නැතැයි බටහිර බෙංගාල ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍ය මම්තා බෙනර්ජී පවසන්නී ය. ඇය පෙන්වා දෙන්නේ 1737 වසරට පසු ඉන්දියාව මුහුණපෑ දරුණුතම සුළිකුණාටුව අම්ෆාන් බවයි . හානි වූ ප්‍රදේශ යළි නගාසිටුවීමට රුපියල් කෝටි 1000 ක ආධාර මුදලක් පිහිටුවා ඇති බවද මම්තා බෙනර්ජී ප්‍රකාශ කළා ය. සුළි කුණාටුවෙන් ඉන්දියාවේ ලක්ෂ 45 කට පමණ බලපෑම් එල්ලවිය. අම්ෆාන් සුළිකුණාටුවෙන් සිදුවු හානි විමසීමට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද , බටහිර බෙංගාලය සහ ඔඩීෂා ප්‍රාන්ත බලා යාමට නියමිතයි . සුලිකුණාටුවෙන් බංග්ලාදේශයේ මියගිය සංඛ්‍යාව 23 කි. අම්ෆාන් සුලිකුණාටුවෙන් බංග්ලාදේශයේ පුද්ගලයන් මිලියන 10 කට බලපෑම් එල්ලවී ඇති අතර 50 000 කට නිවාස අහිමිව ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. බංග්ලාදේශයේ මිලියන 10 කට පමණ විදුලිය ද ඇණහිට තිබිණ. අම්ෆාන් සුලිකුණාටුවෙන් සුන්දර්බාන්ස් ප්‍රදේශයේ දිවිගෙවන වඳවයාමේ තර්ජනයට මුහුණපා සිටින බෙංගාලි ව්‍යාග්‍රයින්ට සිදුවු හානි මෙතෙක් ගණනය කර නැතැයි ද බංග්ලාදේශ බලධාරීන් පවසයි . සුළි කුණාටුව ප්‍රථමයෙන්ම කඩාවැදුනු එම ප්‍රදේශය එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ලෝක උරුමයක් ලෙස ද නම් කළ ප්‍රදේශයකි.