අද සිට වැසි අඩුවන ලකුණු

'අම්පන්' සුළි කුණාටුවේ බලපෑම අඩුවන ලකුණු..

by Staff writer 21-05-2020 | 7:21 AM

COLOMBO (News 1st) - අද සිට 'අම්පන්' සුළි කුණාටුව මගින් දිවයිනේ කාලගුණය කෙරෙහි වන බලපෑම අඩුවනු ඇතැයි බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්මේන්තුව පවසයි.

දිවයිනේ දකුණ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඇතැම් ස්ථානවලට විශේෂයෙන් නුවරඑළිය, කළුතර, රත්නපුර, කෑගල්ල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට මිලිමීටර 50 ට වැඩි තරමක තද වැසි ද ඇති විය හැකිවේ. දිවයින හරහා සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 40 දක්වා වැඩි විය හැකිය. ගිගුරුම් සහිත වැසි ඇති වනවිට අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ඇත. 'අම්පන්' සුළි කුණාටුවෙන් රත්නපුර, බලංගොඩ, හැටන්, මස්කෙළිය, ගාල්ල වැනි ප්‍රදේශයන්ට යම් බලපැම් එල්ල විය. කෙසේ වෙතත් අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ, මේ වනවිට පැවති ගංවතුර තත්ත්වය පහව ගොස් ඇති බවය.