'අම්පන්': ඉන්දියාවේ මිලියන 3 ක ජනතාව පීඩාවට

'අම්පන්' ඉන්දියාවේ හා බංග්ලාදේශයේ 15 කට මරු කැඳවයි

by Staff writer 21-05-2020 | 9:40 AM

News 1st - 'අම්පන්' සුළි කුණාටුව හේතුවෙන් ඉන්දියාවේ සහ බංග්ලාදේශයේ වෙරළබඩ ප්‍රදේශවල පුද්ගලයින් 15 දෙනෙකුට අධික සංඛ්‍යාවක් මරණයට පත්ව තිබේ.

ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ, එම සුළි කුණාටුව මේ වනවිට රට තුළට ඇතුල්වී ඇති බවය. 'අම්පන්' සුළි කුණාටුව නිසා ඇති වූ තද වර්ෂාවත් සමග නැගෙනහිර ඉන්දියාවේ සහ බංග්ලාදේශයේ නාය යෑම් සිදුව ඇත. විදෙස් වාර්තා පවසන්නේ, බටහිර බෙංගාලයේ කොල්කටා ඇතුළු නගරවල නිවෙස් මතට ගස් කඩා වැටී අලාභ හානි සිදු වී ඇති බවය. මේ අතර කුණාටුව ඇති වීමට පෙර මිලියන 3 කට ආසන්න ජනතාවක් ඉවත් කර තිබේ. COVID - 19 වසංගතය ද පැතිරීයාම නිසා මෙම සහන කටයුතු වඩාත් අසීරු වී ඇති බවට විදෙස් වාර්තාවල සඳහන් වේ. එරට COVID - 19 ආසාදිතයන් සංඛ්‍යාව 112,028 දක්වා ඉහළ ගියේ ඉකුත් පැය 24 තළ තව ත් ආසාදිතයන් 5,553ක් වාර්තා වීමත් සමගය. ඉන්දියාවේ 3,434 දෙනෙකු මේ වනවිට COVID - 19 නිසා මරණයට පත් විය. ඉන්දියාවේ, ඔඩීෂා සහ බටහිර බෙංගාල ප්‍රාන්තවල ජනතාව ද ආරක්ෂිත ස්ථාන වෙත යොමු කළ පිරිසට අයත් වේ. අනතුරුදායක ප්‍රදේශවල සිටින පුද්ගලයින් වෙනත් ස්ථානවල රැඳවීමේදී සමාජ දුරස්ථභාවය ආරක්ෂා වන ලෙස එය සිදු කිරීම ගැටලුවක් වී ඇත. 1999 සිට බෙංගාල බොක්කෙහි ඇති වූ පළමු සුපිරි සුළි කුණාටුව වන අම්පන්හි සුළං දැන් දුර්වල වී ඇතත් එය  දරුණු සුළි සුළඟක් ලෙස කාලගුණ අංශ වාර්තා මගින් පෙන්වා දෙයි. මේ අතර මෙම සුළි කුණාටුවෙන් බංග්ලාදේශයේ වෙරළබඩ බෝලා දිස්ත්‍රික්කයේ ගසක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු මරණයට පත්ව ඇති අතර පුද්ගලයින් රැසක් ආරක්ෂිත ස්ථාන වෙත මාරු කර යවා ඇති බවට විදෙස් වාර්තාවල සඳහන් විය. අම්පන්  සුළි කුණාටුවේ බලපෑම බංග්ලාදේශයේ කොක්ස් බසාර් හි සරණාගත කඳවුරකට ද එල්ල වී තිබේ. මේ වනවිට බංග්ලාදේශයෙන් COVID - 19 ආසාදිතයන් 26,730 කට අධික සංඛ්‍යාවක් වාර්තා වන අතර මියගිය පිරිස 386 කි.