'අම්පන්':මුහුදු ගිය යාත්‍රා 30ක් යළි දිවයින දෙසට..

අම්පන්:ඉන්දුනීසියාවට ගිය මෙරට ධීවර බෝට්ටු 30ක් යළි දිවයින දෙසට යාත්‍රා කිරීම අරඹයි..

by Staff writer 21-05-2020 | 7:38 AM

COLOMBO (News 1st) - 'අම්පන්' සුළි කුණාටුව හේතුවෙන් ඉන්දුනීසියාව දෙසට යාත්‍රා කළ මෙරට බහුදින ධීවර යාත්‍රා 30 ක් යළිත් දිවයින බලා යාත්‍රා කරමින් සිටින බව ධීවර දෙපාර්තමේන්තුව පවසයි.

ධීවර දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, ධීවරයින් 180 දෙනෙකු එම යාත්‍රාවල සිටින බවය. ඉන්දුනීසියානු වෙරළට නාවික සැතපුම් 200 ක් පමණ ආසන්නයේ සිට යාත්‍රා කරන මෙම බහුදින ධීවර යාත්‍රාවලට අවශ්‍ය සහය ලබාදීම සඳහා අද දිනයේ නාවික හමුදා යාත්‍රාවක් එම ප්‍රදේශය කරා යාත්‍රා කිරීමට ද සැළසුම් කර තිබේ. මීට අමතරව එම යාත්‍රාවලට අවශ්‍ය අමතර ඉන්ධන රැගත් තව ත් යාත්‍රාවක් කුඩාවැල්ල වරායේ සිට පිටත්ව යාමට නියමිතය. මෙම බහුදින ධීවර යාත්‍රාවල සිටින සියලු ධීවරයින් නිරුපද්‍රිතව සිටින බව ද ධීවර දෙපාර්තමේන්තුව පැවසුවේ ය. මෙලෙස ඉන්දුනීසියානු මුහුදු තීරයට යාත්‍රා කර ඇත්තේ, ගාල්ල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලින් පිටත් වූ ධීවරයින් පිරිසක් රැගත් යාත්‍රා 30 ක් බව එම දෙපාර්මේන්තුව පැවසීය.