මහ වැස්සෙන් පුද්ගලයින් 7000ක් පීඩාවට

මහ වැස්සෙන් පුද්ගලයින් 7000ක් පීඩාවට

by Staff writer 20-05-2020 | 9:29 PM
COLOMBO (News 1st) : හෙට දිනය වනවිට මෙරටට අම්ෆන් සුළි කුණාටුවේ බලපෑම අඩු වී යනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය. අද පෙරවරු 8.30 අවසන් වූ පැය විසි හතර තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය නුවරඑළිය ඇල්ටන් වතුයායෙන් වාර්තා විය. රත්නපුර ඕවලල සහ ගල්ලෑල්ල යා කරන පාලම ඊයේ ගංවතුරට ගසාගෙන ගියේය. එම පාලම කළු ඟඟේ අතු ගංගාවක් වන බඹරකොටුව ඔය හරහා වැටී තිබුණි ආපදා තත්ත්වයෙන් පුද්ගලයින් 7000 කට අධික පිරිසක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය. මේ අතර රත්නපුර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ, අධික වර්ෂාවත් සමග පැවති ආපදා තත්ත්වයෙන් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් ඇති බවයි. ආරක්ෂිත මධ්‍යස්ථාන 10 පවුල් 106 ක් රඳවා සිටින බව රත්නපුර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ ය. අධික වැස්සත් සමග ජලගැගීමට ලක්වූ බොහෝ ප්‍රදේශවල ජලය ක්‍රමයෙන් බැස යමින් පවතින අතර අද උදෑසන සිට බොහෝ ස්ථාන පවිත්‍ර කිරීම ආරම්භ කර තිබිණ. රත්නපුරයේ ඔයේ දැඩි ජල ගැලීමට ලක් වූ සීවලී ක්‍රීඩාංගණය අවට මෙන්ම සෙසු මාර්ග ගම්මාන ආදියෙහි මේ වන විට ජලය බැස යමින් පවතී. රත්නපුර ඇලපාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කරන්ගොඩ, දිමියාව දඹුලුවන මාර්ගය අද පෙරවුරුවේ ජලයෙන් යටවී තිබිණ. දින කිහිපයක් ජල තර්ජනය ලක් වූ බලංගොඩත් අද වන විට ක්‍රමයෙන් යහපත් අතට හැරෙමින් තිබේ. ජල ගැලීම් මධ්‍යයේ වුවද විදුලිය හා ජල සැපයුම අඛණ්ඩව ක්‍රියාත්මක වීම නිසා ජන ජීවිතය යථා තත්ත්වයට පත්කිරීම වේගවත්ව සිදු කිරීමට හැකිවී තිබේ. කුකුලේ ගඟ ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමත් සමග කුඩා ගඟ පිටාර ගැලීමෙන් බුලත්සිංහල මෝල්කාව ප්‍රධාන මාර්ගයේ ස්ථෘන කිහිපයක් ජලයෙන් යට විය. මේ අතර, ගිං ගඟ පිටාර ගැලීමෙන් උඩුගම තවලම හිනිදුම මාර්ගය ජලයෙන් යට විය. උඩුගම, ගල්ලන්දල, කැටගොඩ,ගමගොඩ යන ප්‍රදේශවල අතුරු මාර්ගද ජලයේ යට විය. අද පෙරවරුවේ සිට ගිංගඟේ ඉහළ පෙදෙස් පිහිටි නෙලුව සහ තවලම ඇතුළු ප්‍රදේශවල ජලය පහත් බිම් වෙත ගලා එමින් පැවතියේ ය. මේ අතර නිල්වලා ගගේ පානදුගම ජල මාපකයේ ජල මට්ටම අද පෙරවරුවේ පැවතියේ මීටර් 5.75 ක් ලෙසිනි. ඊයේ පස්වරුවේ සිට ජල තර්ජනයට ලක් වූ අකුරැස්ස සියඹලාගොඩ මාර්ගය සහ අකුරැස්ස - කඹුරුපිටිය හා හොන්දුගොඩ මාර්ගය ක්‍රමයෙන් යහපත් අතට හැරෙමින් පවතී. මේ අතර, මස්කෙළිය නගරයේ මාර්ගයක කොටසක් නාය ගිය අතර පහළින් පිහිටි නිවාස කිසිවකටත් හානි සිදුනොවීය. ඊයේ පෙරවරුවේ අවහිර වූ හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගය අද යළි විවෘත කෙරුණේ මාර්ග සංවර්ධන අධිකාරිය සහ යුද හමුදාව එක්ව දැරූ ප්‍රයත්නයෙන් පසුවයි. මේ අතර විදුලිබලාගාර ආශ්‍රිතව ජලාශවල ධාරිතාව සියයට 56 ක් දක්වා ඉහළ ගොස් තිබේ.   https://www.facebook.com/NewsfirstSL/videos/541654196498362/