by Staff writer 20-05-2020 | 1:01 PM
COLOMBO (News 1st) - පවතින තත්ත්වය අනුව ජුනි 20 වැනිදා සැලසුම් කළ පරිදි පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමේ හැකියාවක් නොමැති බවට මැතිවරණ කොමිෂන් සභාව නිගමනය කර ඇතැයි එම කොමිසම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පිරිස් මහතා අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේ ය.
කොරෝනා වසංගත තත්ත්වය පහව යනු ඇතැයි, අනුමාන කරමින් පැවරී ඇති නීතිමය බලතල අනුව ජුනි 20 වන දා මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව දින නියම කිරීමට පියවර ගත් නමුත් මේ වනවිට කොරෝනා ආසාදිතයින් වාර්තාවීම දිනෙන් දිනම සිදුවන නිසා මැතිවරණ කොමිෂන් සභාව එකී තිරණයට එළැඹි ඇතැයි, ජනාධිපති නීතිඥවරයා එහිදී අගවිනිසුරුවරයා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ ප්‍රකාශ කළේ ය.
මෙරටින් කොරෝනා වසංගතය පහව ගොස් මැතිවරණ පැවැත්විය හැකි බවට සෞඛ්‍ය අංශ නිර්දේශ කර සති 9 ත්-11 ත් අතර කාලය තුළදී මැතිවරණය පැවැත්විය හැකි දිනය ප්‍රකාශයට පත් කරනු ඇතැයි ද ජනාධිපති නීතිඥවරයා එහිදී අධිකරණයට දැනුම් දුන්නේ ය.
ජනාධිපති නීතිඥවරයා එම කරුණු දැක්වීමෙන් අනතුරුව අධිකරණය ඇමතූ පෙත්සම්කාර නීතිඥ චරිත ගුණරත්න මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම් .ඒ. සුමන්දිරන් මහතා සිය සේවා දායකයා ගොනු කළ පෙත්සම ඉල්ලා අස්කර ගන්නා බව අධිකරණයට දැනුම් දුන්නේ ය.
සිය සේවා දායකයාගේ ප්‍රධානම ඉල්ලීම වනුයේ ලබන ජුනි 20 වැනිදා මැතිවරණය පැවැත්වීම අත්හිටුවීම බවත්, මැතිවරණ කොමිෂන් සභාවේ නව නිගමනය අනුව ඔහු සිය පෙත්සම මගින් ඉල්ලා තිබෙන සහන ලැබී ඇති බැවින් පෙත්සම ඉල්ලා අස්කර ගන්නා ලෙස පෙත්සම්කරු උපදෙස් ලබාදී ඇතැයි, එම්. ඒ. සුමන්දිරන් මහතා එහිදී අධිකරණයට පෙන්වා දුන්නා.
කොරෝනා වසංගත තත්ත්වය ක්‍රමයෙන් පහව යනු ඇතැයි නිගමනය කර සෞඛ්‍ය අංශවලින් උපදෙස් ලබා ගනිමින් මැතිවරණ කොමිෂන් සභාව විසින් ලබන ජුනි 20 වැනිදා මැතිවරණය පැවැත්වීමට දින නියම කරනු ලැබුවේ ද රටේ ජනතාවගේ සර්වජන ඡන්දබල අයිතිය සුරැකීමේ අදිටනින් බවද මැතිවරණ කොමිෂන් සභාව වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පිරිස් අද අධිකරණයේදී ප්‍රකාශ කළේ ය.
සාලිය පීරිස් මහතා අධිකරණයට පෙන්වා දුන්නේ වත්මන් තත්ත්වය අනුව රට පුරා පිහිටවනු ලබන ඡන්ද මධ්‍යස්ථානවලට අවශ්‍ය සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම සපයා ඡන්දය පැවැත්වීමේ හැකියාවන් අවම වන බැවින් හා එකී මැතිවරණය පැවැත්වීම මගින් ජනතාව ජීවිත තර්ජනයකට ඇද දැමීමට නොහැකි නිසා ලබන ජුනි 20 වැනිදා ඡන්දය නොපැවැත්වීමට කොමිෂන් සභාව තීරණය කළ බවයි.
එහිදී මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයෙකු වන මහාචාර්ය රත්නජීවන් හූල් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අස්ථික දේවේන්ද්‍ර මහතා කරුණු දක්වමින් අධිකරණයට පෙන්වා දුන්නේ එකී මැතිවරණය සදහා නාම යෝජනා කැදවනු ලැබු දින කිහිපයක් රජයේ නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත් කර තිබු බැවින් ලබන ජුනි 20 වැනිදා ඡන්දය පැවැත්වීම සම්බන්ධයෙන් සිය සේවා දායකයාද මැතිවරණ කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයන්ට විරුද්ධත්වය දක්වා ඇති බවයි.
ස්වාධීන කොමිෂන් සභාවක සාමාජිකයෙකු ලෙස කටයුතු කරමින් කොමිෂන් සභාවේ බහුතර මතයට එරෙහිව කරුණු දැක්වීම ගැන නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ඉන්දිකා දේවමුනිද ද සිල්වා මහත්මිය එහිදී විරුද්ධත්වය දැක්වී ය.
ඒ සිය සේවා දායකයාගේ පෞද්ගලික මතය මිස කොමිෂන් සභාවේ මතය නොවන බව එහිදී අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් දේවේන්ද්‍ර මහතා පෙන්වා දුන්නේ ය.
එම පෙත්සමවල වගඋත්තරකරුවෙකු ලෙස නම් කර ඇති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා එහිදී කරුණු දක්වමින් අධිකරණයට පෙන්වා දුන්නේ පෙත්සම්වලින් පෙන්වා දී ඇති කරුණු කිසිදු නීතිමය පදනමක් නොමැති නිසා ඒවා විභාගයට ගැනීමට අවසර ලබාදීමකින් තොරවම නිශ්ප්‍රභ කරන ලෙසයි.
රටේ විධායක ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හිමිකර දී ඇති බලය අනුව පාර්ලිමේන්තුව විසුරුවා ඇති බවත් ඒ සම්බන්ධයෙන් අභියෝග කිරීමට කිසිවෙකුට අයිතියක් නොමැති බවත් පෙත්සම්වල වගඋත්තරකරුවෙකු ලෙස නම් කර ඇති ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.
එම පෙත්සම් වැඩිදුර සලකා බැලීම හෙට පෙරවරු 10 .00 දක්වා කල් තැබී ය.
https://youtu.be/VDlEILfZJ_g