''ආර්ථිකය ගොඩ ගන්න වහාම පාර්ලිමේන්තුව කැඳවන්න''

''කඩා වැටෙන ආර්ථිකය ගොඩ ගන්න වහාම පාර්ලිමේන්තුව කැඳවන්න'' - සජිත් ප්‍රේමදාස

by Sagarika Chathumali 20-05-2020 | 4:41 PM

*රටේ සාමාන්‍ය ජනතාව දෛනික ජීවිතය පවත්වා ගැනීම සඳහා අරගල කරමින් සිටී.

*සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාකයින් ලබා දෙන බවට රජය පොරොන්දු වූ සහන කඩදාසිවලට පමණක් සීමා වී තිබේ.

*ආණ්ඩුවට එරෙහිව ක්‍රියාත්මක නොවන බවට සහතිකයක් දී ඇති වටපිටාවකදීත් පාර්ලිමේන්තුව යළි නොකැඳවා සිටීම.

 
COLOMBO (News 1st) : පවතින ආර්ථික අර්බූදයෙන් ගොඩ ඒම සඳහා වහාම පාර්ලිමේන්තුව යළි කැඳවන ලෙස සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අද මාධ්‍ය හමුවක් කැඳවමින් රජයෙන් ඉල්ලා සිටියේ ය. ප්‍රේමදාස මහතා එහිදී පෙන්වා දුන්නේ, රටේ ජනතාවගේ දෛනික ආර්ථික තත්ත්වය දිනෙන් දින ඉතා නරක අතට හැරෙමින් පවතින බවයි. තත්තවය නරක අතට හැරීම පාලනය කරමින් අවශ්‍ය සහන සැලසීම සඳහා පාර්ලිමේන්තුව යළි කැඳවීම තීරණාත්මක බව ඔහු එහිදී අවධාරණය කළේ ය. ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නේ, කොරෝනා අර්බුදය හේතුවෙන් බිඳ වැටුණු කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ ව්‍යාපාරවලට සහනයක් වීම සඳහා රජය විසින් සහතික වූ පොරොන්දු මේ වනවිට කඩදාසි කැබලිවලට පමණක් සීමා වී ඇති බවයි. දිනෙන් දින සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අඩපණ වෙමින් ඇති බව නිරීක්ෂණය වන බවත් ජනතාවගේ දෛනික ආදායම් තත්ත්වය මූලිික අවශ්‍යතා හෝ ඉටු කර ගැනීමට ප්‍රමාණවත් නොවන තත්ත්වයකට පත්ව ඇති බව ඔහු එහිදී කියා සිටියේ ය. සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළ කළේ, එළඹෙන මහ මැතිවරණය ජුනි 20 වන දා පැවත්වීමට නොහැකි බව මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කිරීමෙන් පැය කිහිපයකට පසුවයි. එහිදී වැඩිදුරටත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කර ඇත්තේ, සෞඛ්‍ය අංශවල නිර්දේශ මත මැතිවරණය පැවැත්වීමට අවම වශයෙන් සති 10ක හෝ කාලයක් අවශ්‍ය වන බවයි. කෙසේ වෙතත් වෙනත් සාධක මත ද එම කාලය වෙනසක් විය හැකි බව ද එහිදී ඔහු ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙන්වා දී ඇත. ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් හා කඩිනමින් සහන සැලසීම සඳහා රජය සමග සහයෝගයෙන් ක්‍රියා කිරීමට සූදානම් බවත් යළි පාර්ලිමේන්තුව කැඳවීමේදී ජනාධිපතිවරයාට එරෙහි දෝශාභියෝගයක් හෝ රජයට එරෙහි විශ්වාස භංගයක් ගෙන ඒමට තමන් හෝ තම පක්ෂයේ කිසිම සූදානමක් නොමැති බව ද සජිත් ප්‍රේමදාස මහතා එහිදී සහතික වී තිබේ.