අන්තවාදී තර්ජන එල්ල වන බවට වන ප්‍රචාර සාවද්‍යයි

ශ්‍රී ලංකාවට අන්තවාදී තර්ජන එල්ල වන බවට පළවන ප්‍රචාර සාවද්‍යයි - ආරක්ෂක ලේකම්

by Staff writer 19-05-2020 | 6:53 PM

COLOMBO (News 1st) - අන්තවාදී තර්ජන පිළිබඳව මහජනතාව නොමග යවමින් සමාජ මාධ්‍ය ජාලා තුළ පැතිරෙන පළවීම්වලින් නොමග නොයන ලෙස ආරක්‍ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් මහජනතාවගෙන් ඉල්ලා සිටී.

ආරක්ෂක ලේකම් මේජර් ජෙනරල් කමල් ගුණරත්න මහතා පැවසූවේ, සමාජ මාධ්‍ය ජාල තුළ පැතිර යන ප්‍රවෘත්තියෙහි සත්‍යතාවයක් නොමැති බවත් බුද්ධි අංශවලට ශ්‍රී ලංකාව තුළ අන්තවාදී තර්ජන සම්බන්ධයෙන් තොරතුරු ලැබී නොමැති බවත් ය. කොරෝනා වෛරස් වසංගතය පැතිරීම වැළැක්වීම සඳහා හමුදා සහ පොලිස් සහය ලබාගැනීම තුළින් රටේ ජාතික ආරක්‍ෂාව කිසිදු ආකාරයකින් නොසලකා හැර නොමැති බව ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා වැඩිදුරටත් පැවසීය. ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිතුමන්ගේ රජය විසින් මෙරට සියලුම බුද්ධි අංශ එක් ජාලයක් යටතට ගෙන ඇති අතර අභ්‍යන්තර හා බාහිර වශයෙන් ආරක්‍ෂාවට ඇති තර්ජන පිළිබඳව බුද්ධි තොරතුරු ලබාගැනීම සඳහා බුද්ධි අංශ ශක්තිමත් කර ඇති බව ආරක්‍ෂක ලේකම්වරයා පැවසුවේ ය. ආරක්‍ෂක ලේකම්වරයා වැඩිදුරටත් පැවසූවේ, ජාතික ආරක්‍ෂාවද පවත්වා ගනිමින් කොරෝනා වෛරසය පැතිරීම පාලනය කිරීමට රජය ගන්නා උත්සාහයන්ට සහයවීම සඳහා හමුදා සහ පොලිස් නිලධාරීන් යම් සංඛ්‍යාවක් යොදවා ඇති බවය. ශ්‍රී ලංකා නාවික හමුදාව කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා සටන් වදිමින් සිටයදී නැවියන් සිය ගණනක් කොරෝනා වෛරසය ආසාදනය වීම නිසා පීඩාවට පත්ව සිටින අතරතුර දේශීය හා විදේශීයව ක්‍රියාත්මක වන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමේ කටයුතුවලද නියැලී සිටින අතර සංවිධානාත්මක අපරාධ සහ ත්‍රස්තවාදය පැතිරවීම හා ඕනෑම ආකාරයක ත්‍රස්තවාදයන් සම්බන්ධයෙන් ක්‍රියාකිරීම ආරක්‍ෂක හමුදාවන් සහ පොලීසිය විසින් සිදු කරන බව ආරක්ෂක ලේකම් මේජර් ජෙනරල් කමල් ගුණරත්න මහතා පැවසුවේ ය.