ජනපතිගෙන් රණවිරුවන්ට ප්‍රතිඥාවක්

රණවිරුවන් හා රට අඛණ්ඩව ඉලක්ක කරන ජාත්‍යන්තර සංවිධාන හෝ ආයතනවලින් ඉවත්වීමට පසුබට වන්නේ නැහැ - ජනපති

by Sagarika Chathumali 19-05-2020 | 6:34 PM
COLOMBO (News 1st) : රණවිරුවන් හා රට අඛණ්ඩව ඉලක්ක කර ජාත්‍යන්තර සංවිධානයක් හෝ ආයතනයක් දිගින් දිගටම කටයුතු කරන්නේ නම්, එම ආයතනයේ හෝ සංවිධානයේ සාමාජිකත්වයෙන් ඉවත්වීමට පසුබට නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ, බත්තරමුල්ල ජාතික රණවිරු ස්මාරකය අබියසදී අද පස්වරුවේ පැවති රණවිරු විජයග්‍රහණයේ 11 වන වර්ෂ පූර්ණ සැමරුම් උළෙල අමතමිනි. ඉතිහාසය පුරා රට තුළ සෑම ජන කොටසකටම සමානව ජීවත් වීමේ අයිතිය තිබූ බව සිහිපත් කළ ජනාධිපතිවරයා එහිදී පැවසුවේ, එදා අන්තවාදීන්ගේ අරමුණ ඉටු වූයේ නම්, ශ්‍රී ලංකාව අවසනාවන්ත බෙදුණු රටක් බවට  පත්වන බවත් එම ව්‍යසනයෙන් රට මුදා ගැනීමේ ගෞරවය සාමය වෙනුවෙන් සටන් කළ සියලු ම විරෝධාර රණවිරුවන්ට ලබා දිය යුතු බවයි. දශක 3ක් පුරා යුද ජයග්‍රහණය වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් සටන් කළ ජෙනරාල් කොබ්බෑකඩුව, ජෙනරාල් විජය විමලරත්න ඇතුළු සියලු රණවිරුවිරුවන් ද ජනාධිපතිවරයා එහිදී සිහිපත් කර සිටියේ ය. සිය රජයක් යටතේ විරෝධාර රණවිරුවන්ගේ ගරුත්වය ආරක්ෂා කරන බවට සහතික වූ ජනාධිපතිවරයා සඳහන් කළේ, මෙතරම් කැප කිරීම් සිදු කළ රණවිරුවන් අනවශ්‍ය පරිදි පීඩනයට පත් කිරීමට කිසිවිටකත් ඉඩ ලබා නොදෙන බවයි. රණවිරුවන් ජීවිත පරිත්‍යාගයෙන් රැකගත් රට සියලු පුරවැසියන්ට සාමයෙන් සතුටින් හා අභිමානයෙන් ජීවත් විය හැකි දේශයක් බවට පත් කිරීම ඔවුන් වෙනුවෙන් කළ හැකි ඉහළම ගෞරවය වන බැවින් ඒ සඳහා උපරිම දායකත්වය ලබා දෙන ලෙසත් ජනාධිපතිවරයා එහිදි සියලු දේශමාමක පුරවැසියන්ගේ ඉල්ලීමක් කළේ ය. සේනාධිනායක, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම ජාතික රණවිරු අනුස්මරණ දින සැමරුම් උළෙලට සඳහා මහා සංඝරත්නය, අග්‍රාමාත්‍යවරයා, යුද හමුදාපතිවරයා ඇතුළු ත්‍රිවිධ හමුදාපතිවරුන් මෙන්ම යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් සහභාගී වී සිටියහ. උළෙල ආරම්භ වුයේ ජනාධිපතිවරයා ප්‍රමුඛ පිරිස රණවිරු ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුවයි. රණවිරු විජයග්‍රහණයේ සැමරුම අමතමින් ජනාධිපතිවරයා කළ සම්පූර්ණ කතාව.... https://www.youtube.com/watch?v=_yQ6GM_qE5Q&feature=youtu.be