දිස්ත්‍රික්ක 6 කට මිලිමීටර් 200 ට වැඩි ඉතා තදවැසි

දිස්ත්‍රික්ක 6 කට මිලිමීටර් 200 ට වැඩි ඉතා තදවැසි - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

by Staff writer 19-05-2020 | 2:48 PM

COLOMBO (News 1st) - නුවරඑළිය, රත්නපුර, කෑගල්ල, කළුතර මාතර සහ ගාල්ල දිස්ත්‍රික්කවලට මිලිමීටර් 200 ඉක්ම වූ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, දිවයින හරහා සුළගේ වේගය පැයට කිලෝමීටර් 50 - 60 දක්වා විටින් විට ඉහළ යා හැකි බවයි. නැවත දැනුම් දෙනතුරු දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවුක කටයුතුවල නොයෙදෙන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. මේ අතර කළු ගඟේ අතු ගංගාවක් වන කුඩා ගඟේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් බුලත්සිංහල, මිල්ලනිය, පාලින්දනුවර හා මදුරාවල යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස බල ප්‍රදේශවල පහත්බිම්වල සිටින ජනතාව අවධානයෙන් සිටින්නැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේය. කළුතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ, කළු ගඟේ ජලය බැසයාම සඳහා කළුතර කැලිඩෝ වෙරළ ආශ්‍රිතව ගොඩ ගැසී ඇති වැලිපරයේ කොටසක ඉවත් කිරීමට ද අද පෙරවරුවේ පියවර ගත් බවය.